වෙස් තට්ටුවෙන් එන සිලි සිලි නාදයත්, හස්තීන්ගේ ගෙජ්ජි නාදයත් අතර විටින් විට ඇහෙන කුමන හෝ නර්ථන ශිල්පියෙකුගේ සිලම්බු නාදයත් එක අහුරට ගෙන වලාකුලු බැම්ම සිඹ යන සෙංකඩගල මද නල මහ රන්දෝලියට සැරසෙන නුවරම සිසිල් කරමින් හමා යන්නට විය. නුවරම පෙර්හැරට සැරසෙද්දීත් හුදකලාවම සිටින මැද වාසල.
ඇය, මැද වාසල තවමත් විවෘතව ඇතිදැයි සිතමින් විවර තිබු ද්වාරයෙන් ඊට ඇතුලු විය.
” මියුසියම් එක බලන්නද මිස්?”
” ඔව්”
” රුපියල් හැටයි”
ඇය එහි වූ පිළිගැනීමේ නිළදාරිනියට මුදල් ලබා දී අවසරපතක් මිලදී ගත්තාය. හාත්පස සිසිල්ය. සමීප බවක මිස ආගන්තුක බවක් එහි නොවිනි.
” මේ පැත්තෙන් එන්න මිස්. මේක තමයි රජ බිසවක් වෙනුවෙන් හදපු එකම මාලිගාව. මේ වහලෙට කිසිම ඇණයක් ගහලා නෑ. ලී මූට්ටු තියෙන්නේ. මේ තියෙන්නෙ සිංහල මූට්ටුව…”
නිළදාරිණිය ඇගේ අවසරයකින්, ඉල්ලලීමකින් හෝ පෙර දැනුම් දීමකින් තොරව කියාගෙන යන්නට විය. ඇය ඊට ඇහුම්කම් දීමට එතරම් කැමැත්තැක් නොදැක්කූවාය. ඇයට උවමනා වූයේ එහි ඇවිද යන්නය. තමන්ට රිසි සේ නරඹන්නය.
” මේ පොකුණ. මේකේ වතුර රැඳිලා තිබිලා නෑ. එක පැත්තකින් වතුර බැහැලා යන්න හදලා තියෙන්නේ… “
නිලදාරිනියගේ විස්තරයට එතරම් ඇහුම්කන් නොදී ඇය මැද මිදුලේ පොකුණ වටා ඇවිද යන්නට විය. එක් වටයක් ගොස් එහි කෙරවල වූ කාමරය අසල නැවතිනි.
” මේක තමයි බිසවගේ කුටිය. “
ඇය ඊට ඇතුලු විය. එතරම් ආලෝකය නොමැති ඉතා සිසිල් කුටියක්. එක් පසෙක පොළොවේ ඇඳක තිබෙන්නට ඇතැයි සිතෙනා කොණ් හතරක්.
“මේක තනිකරම කබොක් ගල් වලින් හදල තියෙනන්නෙ. සීතල රඳන්න. ජනේල මොනවත් නෑ. මේක වැහුවම අඳුරුම අඳුරු කුටියක්. කොහෙන් හරි එලිය එන්න තියෙන්න ඇති ඒ කාලෙ හැබැයි. “
ඇය ඊට සවන් දුන්නාය. කුටියේ බිත්තියක සවිකර ඇති රැජිනකගේ සිතුවම දෙස භාවනාවක මෙන් බලා සිටින්නට විය. ඇය තවදුරටත් තමන්ගේ උපකාරය අවශ්‍ය නැති බව දෑනුනු නිලදාරිණිය කුටියෙන් පිට වූවාය. නමුත් ඉන් පිටවන විට එහි වූ මෙම තරුණිය දෙස නිලදාරිනිය යලි හැරී බැලුවාය. තරුණියට විලුඹට මදක් ඉහලට වන්නට තරමට වූ දිගු කෙශ කලාපයක් ඇත්තේය. තවමත් ඇය සිතුවම දෙස බලමින් සිටින්නීය.
නිලදාරිනිය තමන් අසල නැති බව දැනගත් විගස ඇයට යම් සැනසිලිදායක බවන් දැනිනි.
‘මේක වැහුවම අඳුරුම අඳුරු කුටියක්. කොහෙන් හරි එලිය එන්න තියෙන්න ඇති ඒ කාලෙ හැබැයි”
ඇයට එම වදන් තමන්ගේ කන් තුල දෝංකාර දෙන්නාක් මෙන් දැනිනි.
එක වර කුටියේ පහන් දැල්විනි. හාත්පස ආලෝකමත් විනි. බිත්තියේ එල්ලා ඇති කැටපතක්, දැවයෙන් කල කුඩා මේසයක් හා ඒ මත රිදි ආදාරයකයක මත දැල්වෙන දඟර ගැසුනු ඉටිපන්දම් කිහිපක්. එහි වූ අවසන් ඉටි පන්දම දල්වමින් සිටි තරුණියක්.
” මේ පන්දම් හරිම සුවඳයි අක්කන්ඩී”
රවුම් මුහුණක් ඇති, එතරම් උස නොවූත්, පැහැපත් නොවූත් තරුණියක වූ ඇය පවසන්නට විය. ඇය සැහැල්ලු යයි සිතිය හැකි ඔසරියකින් සැරසී සිටියාය.
” ඔව්… ඒවා මහ රජතුමාට ලන්දේසි කාරයෙක් දීපු පන්දම්. මුළු රැය පුරාම දැල්වෙනවා”
අනෙක් පස සයනයෙහි අසුන් ගෙන සිටි තරුණිය පිළිතුරු දුන්නාය. ඇය වැලමිට දක්වා වූ බෝරිච්චි හැට්ටයක සහ රැලි ඇල්ලූ ඔසරියක පහළ කොටසක හැඳ සිටියාය. ඇගේ දිගු කේශ කලාපය උරහිස් මතින් වුත්, උකුලෙහි රැඳී දණහිස් වසාගෙන ගොස්,දෙපා අසලට තරමක් උඩින් නැවතී තිබුණි. ඇගේ සිහින් දිගටි වත, දිගු දෑස්, ලපටි නා දලු මෙන් සිහින් රෝස පැහැ ගත් දෙතොල් ඇය ප්‍රවේසමන් සිතුවම් කලා වූ සිතුවමක් යැයි ඈදකින කිසිවෙකුට වුවද සිතෙන්නට සලස්වා තිබුනි.
” මුලු රෑම මොකට පත්තු වෙනවද? රජතුමා ආවට පස්සේ ඕක නිවලා දාන්නනෙ තියෙන්නේ”
” නිවන්න හරි පත්තු කරන්න හරි රජතුමා මෙහි එන්ට එපායෑ”
” ඉතින් අක්කන්ඩිනෙ එන්ට දෙන්නෙ නැත්තේ.”
” එන්න දෙන්න තිබුනා සිහිකල්පනාවෙන් ඉන්න මනුස්සයෙක්ට නම්. “
” අනේ මන්දා… මට තේරෙන්නෙ නෑ ඕවා”
” ජම්මාල් යන්ට ගිහින් නිදාගන්ට. “
සයනයෙහි වූ තරුණිය පවසන්නට විය. එවිට අනෙක් තරුණිය ඇය වෙත අවුත් ඇගේ හිස සිඹ පිටව යන්නට සැරසුනාය.
” ජම්මාල්… නවතින්න. හෙට උදෑසන මෙහි පැමිණෙනවා ඇඳුරෙක් සිංහල අකුරු කරන්ට. නංගි කැමතිනම් එන්ට පුලුවන්”
” අනේ… මට ඕනේ නෑ ඔය රවුම් අකුරු ලියන්ට. කතා කරන්ට පුලුවන් වුන එකම ඇති”
” ඉතින් තෙලුගුත් රවුම් නෙ”
” අක්කන්ඩිට මතක නෑ.. මට තෙලුගුත් ලියන්ට බෑ කියලා.දෙමළ නම් ලියන්ට හැකියි”
ඇය සරදමට පවසා කුටියෙන් පිටව වම් පසට හැරී ගොස් එහි සිතුවම් අතර වූ කුටියකට පීවිසියාය. මැද මිදුල පොකුණේ නිසල රැලි මතට බැස සිටි චන්ද්‍රයා තමන්ට රිසිසේ එහි ගිලී ස්නානයේ යෙදිමින් සිටියේය.
පසුදා උදෑසනම පොකුණට පිවිස සිටි සූර්‍යයා. තරමක් කලබලකාරී වූ මැද වාසල. රෙද්ද , බෝරිච්චි හැට්ටය හැඳි සේවිකාවෝ ඔබ මොබ යත්.
” මේකට මම නම් යන්තම් වත් කැමති නෑ. දැන් දැන් මේ මාලිගාවෙ වෙන්නෙ කවමදාවත් නොවුන දේවල්. ගෑණුන්ට මාලිගා හදලා දෙනවා, එ මාලිගා ඉදිරිපසින් පෙරහැර ගෙනියනවා ගෑණුන්ට බලන්ට. ඔක්කොටම වඩා මේක. මොන එකකටද අකුරු කරන්නේ? ගෑණු ඉගෙන ගන්ට ඕනෙ නෑ. ඇරත් බිසෝවරු? “
වාසලෙහි සිටි මැදිවියෙහි වූ ප්‍රධන සේවිකාවක් තරමක නොක්කාඩුවකින් පසුවන්නට විය.
” හා හා මැණිකෙ. මහ බිසෝට ඇහේවි. ඇහුනොත් එක යුද්ධයයි”
” මේ කෙල්ල මහා වදයක්. ඒකිට ඕනෑ ඕනෑ විදියට රජතුමාව තියන් නටවනවා. හැබැයි තියෙන අහංකාර කමට උන්නාන්සෙට ලඟටවත් එන්ට දෙන්නෙ නෑ. “
” මොනවා කරන්නද මැණිකෙ. පොඩි දැරිවියක් නෙ”
” පොඩි එකී පොඩි එකී විදියට ඉන්ට ඕනේ. දැන් අද මේ නටන්ට යන කස්තිරම මොකක්ද? කවුද එන්නේ අකුරු කරන්ට?”
නොබෝ වේලාවකින් පොකුණෙහි දුකුණුපස අකුරු කරවීමට සූදානම් ලෙස සකසා තිබුණි. දැවයෙන් කල කනප්පුවක සහ කැටයම් කල පුටු දෙකක එහි තිබුණි. මොහොතකින් මැද වාසල ඉදිරි පස ද්වාරය විවර විය. ඒ ඉදිරිපිට පයින්ඩ කරුවෙකු සිටියේය. ප්‍රධාන සේවිකාවක ඔහු හමුවට ගියාය. පයින්ඩකරු ඔහු අත වූ ” ශ්‍රී” ලාංඡනය සහිත දැව සන්නස පෙන්වීය. ඉන්පසු ඔහු සෙමින් එතැනින් වම් පසට ඈත් විය.
ඔහු පසුපස වූයේ තරුණයෙකි. ඇත්දල පසුබිමෙහි රිදියෙන් කල මෝස්තර සහිත තුප්පොට්ටියකින් සැරසී සිටි ඔහු. ඔහු අත පුස්කොළ මිටියක සහ කොපුවක බහාලු පිහාටු පන්හිඳක විය. දිගටි මුහුණ, පුලුල් නලල් තලය, සිහින් දෑස්, මුහුණේ තැනින් තැන යන්තමින් වැවී තිබු රැවුල. වල ගැහන කම්මුල්. මැද වාසලට කිසිදා නොපැමිණි අමුත්තෙක්.
සේවිකාවෝ සියල්ලෝම විමතියෙන් එකිනෙකා දෙස බලත්. ප්‍රධාන සේවිකාවන් අතුරෙන් මැදිවියේ වූ සේවිකාව තරමක් කෝපයෙන් බව ඇගේ මුහුණින් පෙනෙන්නට විය. නමුත් රාජ අණ ක්‍රියාත්මක කිරීමට සියල්ලොම බැඳී සිටින බැවින් ඇය සූදානම් කර තිබූ අසුන වෙත තරුණයා කැඳවාගෙන ගියාය.
කාන්තාවන් මහ ගොඩක් මැද තරුණයාද තරමක් ලජ්ජාවෙන් හිස නෝඔසවා තම පුස්කොල පොත දෙසම බලා සිටින්නට විය. මොහොතකින් කාන්තාවන්ගේ කසු කසුව අතරින් සිහින් වලලු හඬක් ඇසෙන්නට විය. තරුණයාගේ හදවත තරමක් වේගයෙන් ගැහෙන්නට විය. වලලු හඬට එකතු වුනු පා සලඹ හඬක් සමීපව ඇසෙන්නට විය. ඔහු හෙමි හෙමින් තම දෑස් ඔසවන්නට විය. ඔහුට සැලකිය යුතු දුරකට ඉදිරියෙන් පැමිණෙන සිහිල් පොළොව පුරා විහිද ගිය ඇහැල මල් පැහැ වස්ත්‍රයක්. එහි වටා මනා ලෙස ගිය රන් හුයෙන් කල විසල් ලියවැලක්. එහි අයිතිකාරිණියගේ ලපටි දිගු දෙපා විටින් විට දිස්වන්නට විය. ඔහු සෙම්න් දෑස් තවත් ඔසවන්නට විය. ඇයගේ වස්ත්‍රය කුමක් දැක් ඔහු නොහඳුනනේය. එය ඔසරිය කෝ රෙද්ද හැට්ටයක නොවන බව නම් ඔහුට විශ්වාසය. එය ඇගේ සිහින් ඉඟ වටා ගිය රෙද්දකි. බඳ වටා ගිය හවඩියක වැණි ඊට වෙනස් ආඹරණයක් සමගම උඩු කයට ඇදී යන සියුමැලි සේලයක්. සේලය මතට වැටුනු රන් තැල්ලක…
” කොල්ලෝ නැගිටපන්… බිසොවුන් වහන්සේ වඩිනවා”
මැදිවියේ සේවිකාව තරුණයාට සැරෙන් පවසන්නට විය. තරුණයා ගැස්සී සිට ගත්තේය. ඇහැල මල් පැහැ බෝරිච්චි අත් ඇති හැට්ටය වටා ගිය සේලය වම් උරහිසින් කඩාහැලී වම් අත අතේ වලලු තෙක් විහිදව ගොස් තිබුනි. දිගටි කන්පෙති වලින් පහලට හැලෙන රන් පැහැ තෝඩු. දිගු තොල්පෙති, සිහින් දෑස්, හඳ පලුව වන් නලලත මත කුඩා තිලකයක්, සහ හිස වටා ගිය නලල් පටියක්. මුදුනට නොවන්නට පසුපසට බැඳි හිසකේ වටා ගිය පිච්ච මල් මාලයක්. පෙර කිසිදා නොදුටු මෙම සිතුවම දුටු තරුණයා ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට විය.
තරුණයා තම දෑත් එක්කර හිස නමා බිසොවුන්ට ආචාර කරන්නට විය. එවෙලෙහිම කිසිවෙක් නොසිතූ අයුරින් බිසොවුන්ද දෑත් එක්කර හිස නමා තරුණයාට ආචාර කරන්නට විය.
” හා …. හා…. බිසොවුන් වහන්සේ. ආචාර කරන්ට ඔනේ නෑ ඒ නිලමෙට. ඔබවන්සේ රන්දෝලි බිසව”
සේවිකාවක වහා ඇයට ලංව පවසන්ට විය.
” ආචාර කල යුතුයි. අපේ රටේ නම් ගුරු කියන්නේ වැඳුම් ලැබිය යුතු අයෙක්. “
අකුරු කිරීම ආරම්භ විය. තරුණයා තම පන්හිඳෙන් පුස්කොලයක ” අ” අක්ශරය සටහන් කලේය. ඉන් පසු පසෙක වූ තීන්ත කුඩු ගෙන ඒ මත ඉසීය. බිසොවුන්ද ඔහු අනුගමය කලද ඇයට අක්ශරය ලිවීම පහසු නොවිය. ඇය කෙතරම් උත්සහ කලද එය ලිවීම ඇයට සිදුකල නොහැක්කක් විය. වෙනත් අවස්තාවක නම් ඇය මේසය මත ඇති සියල්ල පොලොවේ ගසා කෝපයෙන් පිටව යනු ඇත. නමුදු මෙහිදි ඇය ඉතා සාවදානයෙන් එමකටයුත්ත කරන්නට විය.
සවස් යාමයේදී මැද වාසලෙහි පහන් එකෙන් එක දැල්වෙමින් තිබුණි.
” මම දන්නෙ නෑ මහ රජ්ජුරුවො මොන එහෙකට මේකට ඉඩ දුන්නද කියලා”
” ඒක තමයි . පොඩි කොල්ලෙක් එවනවද එහෙම බිසෝ මාලිගාවට”
” හැමෝගෙන්ම හංගලා වෙනමත් තියලා තියන රන්දෝලිය. ඇහැට කනට පේන කොල්ලෙක් ගෙනත් දැම්මම හරියනවද? රජ්ජුරුවො වස වැරැද්දක් කරගන්න යන්නේ. ගින්දරයි පූලුනුයි එක ලඟ තියන්න හොඳ නෑ”
සේවිකාවන් තම තමන්ගේ කාර්‍යන්හි නියැලිම්න් නෝක්කාඩු බස් කියමින් පසුවන්ට විය.
ඒ අතර බිසොවුන්ගේ කුටිය තුල ලන්දේසි සුවඳ ඉටිපන්දම් දැල්වෙමින් තිබුණි.
” ඉතින් සිංහල ලියන්ට පුලුවන්ද අක්කන්ඩි දැන්?”
“ලියන්ට? මට නම් හිතාගන්ට බෑ ඒ අකුරු මොන වගේද කියලා”
” එහෙනම් ඇඳුරා හරියට උගන්වල නෑ වගේ.”
බිසොවුන් හා ඇගේ නැගනිය එකවර සිනාසෙන්නට විය.
” ආරන්චියි , ඇඳුරා හැඩකාරයෙක් කියලා”
ජම්මාල් නැගනිය තමන් අත වූ සලුවකද ගෙන තම සොයුරියගේ සයනය මත අසුන් ගත්තාය. ඉහලට බැඳ තුබූ වරලස ලෙහා සකසමින් සිටි බිසොවුන් උදෑසන සිදුවූව යලි සිහිකරන්නට විය. ඇය කිසිදු පිළිතුරක් නොදුන්නාය. යන්තමින් සිනාසුනා පමණකි.
” කෝ ඉතින් මට විස්තර කියන්න. ඇඳුරගෙ නම මොකක්ද?”
” ඇසල බණ්ඩාර. දියෙස් මුදලිගෙ පුතෙක්ලු”
ඒ අතර දියෙස් වල්ව්වෙහි එක් කුටියක දැල්වෙමින් තිබූ පහණක්. ඒ අසල විවරව තිබූ ජනේලයෙන් එන මද සුලඟට එහා මෙහා යන්න පහන් දැල්ල. ජනේල පඩියේ අසුන් ගෙන සිටි ඇසල බණ්ඩාර.
” මේක කරන්ට පුලුවන් දෙයක් නෙවෙයි. කොහොමද අකුරු කියවන්නේ අතින් අල්ලවලා ලියවන්නෙ නැතුව. “
ඔහු තමන්ටම පවසාගන්නට විය. කවුලුවට ඈත අහසින් පායා තිබු හඳ ඔහුට ඇහුම්කම් දෙන්නාක් මෙන් බලා සිටින්නට විය.
” හඳ . මම නුඹටයි මේ කියන්නේ. මැද වාසලට තව හඳක් පායලා. නුඹට වඩා හැඩයි.හැබැයි නුඹ වගේම මහ අහංකාරයි. හිනාවෙන්න නම් දන්නෙම නෑ. ලප නම් නෑ. තිලකයක් තියෙනවා නලලෙ. කවුද?…..නෑ…. මම කියන්නෙ නෑ නුඹට. රහසක් ඒක”
සිංහල අකුරු කරවීම විටින් විට කෙරුනු නමුත් බිසොවුන් හට අක්ශර ලිවීම අතිශය අපහසු කර්‍ය්යක් විය. මීට කල හැකි විවිධ පිලියම් කල්පනා කරමින් සිටි ඇසල. දිනක් ඔහු අපූරු යමක් මැදවාසට ගෙනවුත් තිබුණි. සිහින් සිනිඳු වැලි අතුරන ලද පුවරුවක්. එය පොකුණ අසල පොළොවේ තබා තිබුණි.
” මේ මොකක්ද? “
” වැලි පිල්ලක්. මේකෙ තමයි අපි අකුරු ලියන්ට පුරුදු වෙන්නේ”
බිසොවුන් එහි එකම පස එක් කොණකත්, ඇසල අනෙක් කොණත් අසුන් ගත් හ.
” මම මෙහි මගේ ඇඟිල්ලෙන් ලියන අක්ශරය, ඔබ වහන්සේ එලෙසම ලියන්ට මේ වැලිපිල්ලේ”
ඇසල පුවරුවෙහි ” අ ” අක්ශරය ලියන්නට සූදානම් වෙත්ම බිසුවුන්ද සූදානම් වූවාය. ඔහු අක්ශරයේ කව ගන්නා ආඅකාරයටම ඇයද එය ගැනීමට උත්සහ කලාය. නමුත් එය සාර්තක නොවන බව ඇසල දුටුවේය. කෙතරම් කියා දුන්නද බිසව හට එය නොතේරෙන විට ඇසලද ඉවසිලිවන්ත නොවිනි.
” ඔහොම නෙවෙයි දරුවො. මෙහෙම කවාකාරව ගන්ට…”
ඔහු දෙවරක් නොසිතා බිසොවුන්ගේ දකුණතින් අල්ලා අක්ශය ලියවන්නට උත්සහ කරත්ම ඔහුට එහි බරපතලකම වැටහී තම අත වහා පසෙකට ගත්තේය. බිසොව විමතියට පත්විය. ඇසලගේ හද වේගයෙන් ගැහෙන්නට විය. ඔහු සිදුකලේ ඊලඟ මොහොතේම මරණය ලඟාවෙන වරදකි. ඔහුගේ වාසනාවට කිසිදු වැඩිමහල් සේවිකාවක එම සිදුවීම නොදුටුවාය.
රාත්‍රියේ දියෙස් වලව්වේ මිදුලේ කොණක බංකුවකට වී කල්පනා කරමින් සිටින ඇසල. අද ඇසල තනිවමය. පෝය පහුව ගොස් ඇති නිසා හඳද සැඟවී ගොසින් ය. බක්කි කරත්තයේ බඳින ගොනුන් හට වතුර දීමට පැමිණි ගොණුන් බලාගන්නවුන් අත වූ හුලු අතුවලින් යන්තම් එලියක අවුත් තිබුනි.
” පුදුමයි මාව උල තියන්න කීවේ නැති එක. අදනම් යාන්තමින් හිනහ වුනා. හිනාවෙනකොට තවත් ලස්සනයි.”
ඔහු දිනයේ වූ සිදුවීම් නැවත සිහි කරමින් සිටියෙය. තමන් අතින් වරදක් වුවද එය එතරම් නොතැකූ, සියල්ලෝම නපුරුයි අහංකාරයැයි කියනා බිසව. ඇය ඇවිදින විට ඇගේ ආභරණ වලින් නැගෙන සිහින් සිලි සිලි නාදය. ඒ හඬ පැමිණෙන්නේ වලලු, පා සලං, සහ තැලි වලින්ම පමණක් නොවන බව ඔහු සොයාග්තේ අදය. ඔහුගේ සිතුවිලි වලට අනුව ඇගේ දිගටි කන් පෙති වල එල්ලෙන තෝඩු දේවාලයක ඉහල කොටස වැනිය. එහි යට කොටස වටා එල්ලෙන මුතු යැයි සිතිය හැකි මෝස්තරය. ඇය හිස සොලවන විට ඇගේ තෝඩුද හෙමින් සෙලවේ. එවිට සුලඟටත් සොරා සිහින් සිලි සිලි හඬක් ඇසේ.
” ඇසල…”
ඔහු දැහැනින් පිටතට පැමිණියේ දියෙස් මුදලිගේ හඬටය.
” අප්පච්චි!”
” කොහොමද මැද වාසලේ තත්වය. බිසව අකුරු කරනවාද හොඳින්?”
” එහෙමයි අප්පච්චි”
” ඒ මොක වුනත්, ඔය ගෑණු දෙන්නා එක්ක වැඩි ඇයි හොඳැයියක් තියාගන්ට එපා. “
” හ්ම්… දෙන්නා කීවේ?”
” රන්දෝලියි, රිදී දෝලියි”
” වෙන බිසවක් නැහනෙ. මම නම් දැක්කෙ නෑ. බිසවුන් වහන්සෙයි. උන්වහන්සෙගෙ නගයි , වාසලේ ගෑණුයි තමයි. “
” උඹට ඒ පැහිච්චකම් වලින් වැඩක් නැහැනෙ. උඹ ඔය නගා කියපු කෙල්ල තමයි රිදී දෝලි. බිසවගෙ නගා. හැබැයි වෙනත් මව් කෙනෙක්ගෙ. මම මේ වැඩේට උඹව පංගනාත්තු කලේ ඉස්සරහට උඹව රාජසභාවට ගන්ට හිතාගෙන. බොලාගේ අයියන්ඩිත් ඉන්නවනේ. ඒ නිසා ප්‍රවේසමෙන්. යන රාජකාරිය විතරක් කරලා වරෙන්”
තම පියාගෙ අනතුරු ඇඟවීම ඔහුගේ කනට ගියාද කියා සැකය. ඔහු රාත්‍රී කිහිපයක්ම කල්පනා කරමින් සිටියේ බිසවගේ අතින් නොඅල්ලා අකුරු කරවන්නෙ කෙසේදැයි කියාය. ඔහු විවිධාකාර උපක්‍රම භාවිතා කර බැලුවේය. වරක් ඥාති වන නැගනියක කැඳවගෙන අවුත් ඇයට අකුරු කියවා ඇය වාසල වෙත ගෙන ගියේය. ඇය ලවා බිසවගේ අතින් අල්ලා අකුරු ලියවන්නට විය. එය නම් තරමක සාරතක එකක විය. මැද වාසල සැමවිටම සාමකාමි එකක් නොවිනි. දිනක් සවස් යාමයේ මාලිගා පොතුගුලෙ සිට යලි යමින් සිටි ඇසල හට මැද වාසල දෙස සිට මහා කාලගෝට්ටියක ඇසෙන්නට විය. එය එහි රජු පැමිණි දිනයක් වූ අතර. වාසල දිගට මුරකාවල්ය. එදින රාත්‍රියේ දියෙස් වලව්වේ කෑම මේසයේ දියෙස් මුදලිත් ඔහුගේ වැඩිමහල් පුත් පන්ඩුල බණ්ඩාරත් කතාබස් කරමින් සිටියහ.
” රාජ්‍යට උරුමක්කාරයෙක් නැත්තේ බිසවගේ මාන්නෙ නිසා. ඒ කෙල්ල කැමති වෙන්නෙම නෑ රජතුමාගේ හුලඟවත් වදිනවට”
” මොකටද ගෑනුන්නෙ අහංකාරකම් බලන්නේ. ඇදගෙන යන්නනෙ තියෙනෙනෙ. අපේ සිංහල ගැණියෙක් බැන්දානම් වැඳගෙන ඉඳීවි”
” එක අතකට ඒකි හරි. යන යන තැන ගෑනු එක්ක ලැගලා එන මිනිහෙක්ට ගෑනු කැමති නෑ. ඔය අදත් පළතුරු වට්ටිය පොළොවෙ ගහලා දොර වහගන. බිසව කා එක්කවත් ඇයි හොඳැය්යක් නෑ….”
එම මොහොතේම ඇසල කෑම මේසයට පැමිණියේය. ඔහු දුටු පන්ඩුල…
” …. හ්ම්ම්ම්… ඔව් කා එක්කවත් ඇයි හොඳැය්යයික් නෑ.. මෙන්න මෙයා එක්ක ඇරෙන්න” ඔහු සරදම් ස්වරයෙන් පැවසුවේය.
” කවුද?”
ඇසල මේසයට අසුන් ගත්තේය.
” කවුද? රජ බිසව”
” අනේ පලයන් අයියන්ඩි”
රාජ්‍යය එතරම් ස්ථාවර නොවන කාලයකට ලඟා වෙමින් තිබුණි. එක් පසෙක රජු නෙරපන්නට සැරසෙන කුමන්ත්‍රණ කරුවන්. අනෙක් පස රාජ්‍යය වෙනුවෙන් කැපවූවන්. රන්දෝලියගෙන් ලද දරුවෙකු විනා අන් කුමන බිසවකගෙන් හෝ ලැබූ දරුවන් රජ කරවිය නොහැකිය. එම නිසා රාජ්‍යට හිතෛෂින් ගේ මතය වූයේ රාජ්‍යට උරුමක්කාරයෙකු බිහි වුවහොත් එය සුභ දායි වනු ඇති බවය. මේ අතර ඇහැලේපොල කලබලයද ඇතිවන්නට විය. කුමක් වුවත් රජු රිසි සේ සතුටින් කෙලි දෙලින් කාලය ගත කරමින් සිටියේය. බිසව නිරන්තරයෙන් රජු ප්‍රතික්ෂේප කරන්නේ ඔහු වෙනත් ස්ත්‍රීන් වෙත යන නිසාවෙන් සහබීමතින් මැද වාසලට එන නිසාවෙන් යැයි රජුට හිතෛෂින්ගෙ මතය විය. එම නිසාවෙන් දින කිහිපයකට දැහම්න් සිට බිසව හමුවට යන ලෙස ඔහුට උපදේශක වරු උපදෙස් දුන් හ. එලෙස එක් සවස් යාමයක ස්නානය කොට පේවී, මැද වාසල බලා පිටත්ව යන රජු ඇතුලු පිරිස. ඉදිරියෙන් යන රජු, ඔසුපස නිලමේවරු කිහිප දෙනෙක් සහ පළතුරු වට්ටියක අතින් ගත් නිලදාරියෙක්. මහවාසල පසු කොට මගුල් මඩුව අසලින් ඉහලට යන තරප්පුවට පිවිසෙමින් සිටි ඔවුහු. හදිසියේම යමක කකුලෙ දැවටී රජු නතර විය.
එකවරම සියල්ලෝ කලබලයට පත්විය. කුඩා සර්පයෙකු රජුගේ දකුණු පාදය දෂ්ට කර තිබිණි. එය එතරම් විෂ සර්ප දෂ්ටනයක් නොවන බවත්, හෝරාවකින් එය සුව වන බවත් එහි වූ පිරිස පැවසූ නිසාවෙන් රජු වෙදනා වෙත ගෙන යාමට ඔවුහු යුහුසුලු විය.
” බිසව හමුවට යාම?”
එවෙලෙහි රජු විමසන්නට විය.
” ඔබ වහන්සේ වෙදනා හමුව පැමිනෙන්න රජතුමනි. එහි කටයුතු සූදානම්ව තියෙවි”
එසේ පැවසූයේ දියෙස් මුදලිය. ඔහු කාණ්ඩයෙන් වෙන්ව පළතුරු වට්ටියද රැගෙන මැද වාසල වෙත පැමිණෙමින් සිටියේය.
” අප්පච්චි!” අතුරු පාරක සිට එහි එමින් වීදියට ගොඩවූ ඇසල. දියෙස් මුදලි තම පුත්‍රයා දෙස මදක් බලා සිට සිතිවිල්ලේ සිටින්නට විය.ඔහු ඇසලද කැටුව මැද වාසල වෙත ගියේය. ඔහු අත පළතුරු වට්ටිය තැබීය.
” මුදලිතුමා මොකද මේ රෑජාමේ මෙහි පැමිණ?”
ප්‍රධාන සේවිකාවක විමසන්නට විය.
” මහ රජතුමා මෙහි පැමිණෙමින් සිටිනවා. නමුත් මදකට මග නවතින්නට සිදුවුනා. ඉතින් මේ පළතුරු වට්ටිය බිසවුන් වහන්සේට දී එතුමන් එන බව සැල කරන්නට කීවා.”
සේවිකාව මදක් කුතුහලයට පත්විය.
” වෙන කා අතවත් නෙවෙයි මේ අපේ ළමයා අතේම දෙන්ට කීවා. මොක්ද බිසවුන් වහන්සේ කාවවත් විශ්වාස කරන්නේ නැහැනෙ.අපේ ළමයට නම් සමීපයිනෙ.
එය අසා සේවීකාව මහත් කෝපයට පත්විය. ඇය කිසිවක් පවසන්නට පෙර දියෙස් මුදලි ඇයට යමක් ඉඟි කලේය. සිදුවන කිසිවක් හරිහැටි නොතේරුනද තම පියාට ඉහලින් යා නොහැකි බව දත් ඇසල කුතුහලයෙන් මුදු නිහඬව සිටියේය.
වෙනදා මෙන් නෝක්කාඩු නොවී සේවිකාවද ඇසල වාසල තුලට කැඳවාගෙන යන්නට විය.
තම කුටියේ ද්වාරය වසා ලන්දේසි ඉටිපන්දම් එකින් එක දල්වමින් සිටි බිසව. ඇය තම මේසය අසලට ගොස් එහි තිබූ සිංහල අකුරු ලියා ඇති පුස්කොල පෙරලා බැලීය. ඇගේ අකුරු කවාකාර නැත. නමුදු ඇසල විසින් ලියා පෙන්වූ අකුරු මනාය, කවාකාරය, ඈට සිතෙන ආකාරට සුන්දරය. ඇය එම අකුරු මත අත තබා බැලීය. එවිටම කිසිවෙකු තම දොරට තට්ටු කරන බව ඇයට ඇසිනි.
මැද වාසල මැද පොකුණට යලි පිවිස සිටින චන්ද්‍රයා. පොකුණ වටා තැතිගෙන සිටින කාන්තාවෝ. ඔවුන් එකිනෙකා හා කසු කුසු ගාමින් විමතියෙන්. තම කුටියේ සිට පිටතට පැමිණි ජම්මාල් බිසව. සිදුවන කිසිදෙයක් නොදන්නා මහ බිසව සහ ඇසල. ඇසල යලි ද්වාරයට තට්ටු කරන්නට විය.
” කවුරුන්ද?”
” බිසොවුන් වහන්ස මම මේ…”
බිසව හඬ හඳුනාගත්තාය. සිදුවන්නට යන්න තෙරුම් ගත් ජම්මාල් බිසව කලබලයට පත්විය. ඇය වහා ඉදිරියට යාමට තැත් කරත්ම ප්‍රධාන සේවිකාව ඇගේ අත තදින් අල්ලා ගත්තාය. බිසවගේ කුටියේ ද්වාරය සෙමින් විවර වන්නට විය.
” අක්කන්ඩි එපා…”
ජම්මාල් කෑ ගසන්නට විය.
නමුත් ඒ වනවිටත් දොර විවරව තිබුණි. රාත්‍රී සලු පටලා සිටි බිසව. ඇත්දල පිරුවටයක ඉණටද බෝරිච්චි හැට්ටයක උඩුකයටද ඇය හැඳ සිටියාය. තෝඩු විනා කිසිදු ආභරණයක ඇය ඇඟ ලා නොසිටියාය. ඇගේ දිගු වරලස උරහිස සිට අවුත් හැට්ටය මතින් වැටී දණහිසට මදක් පහලට වන්නට වැටී තිබුණි. ඇසල ඇය මෙසේ දුටු ප්‍රතම අවස්තාව මෙයයි. ඇය දුටු මුල් දිනයේ මෙන් ඔහුගේ හද වෙගයෙන් ගැහෙන්නට විය. ඔහු අත වූ පළතුරු වට්ටිය ඔහු ඇයට දිගු කලේය. බිසවට නොදැනීම ඇයද එය අතට ගැනීමට දෑත් දිගු කලාය.
” අක්කන්ඩී එපා… මෙය උගුලක්”
ජම්මාල් කෑ ගසන්නට විය. සේවිකාව ඇය පසකට ඇද දැමුවාය.
මදකට ගල් ගැසී සිටි බිසවට සිදුවන්න පසක් විය. ඒ වන විටත් ඇය පළතුරු වට්ටිය භාරගෙන අවසන් ය. ඇගේ දෑස් කඳුලින් පිරී යනු ඇසල දුටුවේය. සිදුවන කිසිවක් නොදත් ඔහු එවෙලෙහි කලබලයට පත්විය. බිසව එක වර පළතුරුවට්ටිය පොළොවේ ගසා ඇසලගේ වම් කම්මුලට වැරෙන් කම්මුල් පහරක් ගැසුවාය. අසල වූ සලුවක වහා ඇද පපුවට දමාගත් ඇය දණින් වැටී හඬා වැටෙන්නට විය. ප්‍රධාන සේවිකාවන් වහා අවුත් ඇයට දොරපලු වසා දැමීමට නොහැකිවන සේ දොර විවරව තබන්නටවිය. ඇසල කිසිවක් කරකියාගත නොහි පසෙකට ඇද වැටුනි.
බිසවක රජු ගෙන එන පළතුරු වට්ටිය භාර ගන්නේ නම් රජුට ඇගේ කුටියට ඇතුලුවිය හැක. බිසවගේ කුටියේ අගුලු ඇත්තේ අතුලතින් පමණකි. බිසව රිසි නම් පමණක් එය විවරවේ. බිසව සහ ඇසල අකුරු කරනා කාරිය නිසාවෙන් හඳුනන නිසාත්, ඔහුගේ හඬට ඇය දොර විවර කරනු ඇතැයි යන හැඟීම නිසාත්. එසේවිවර කල විට එම අවස්තාවෙන් ප්‍රයෝජන ගෙන රජුට කුටියට පිවිසිය හැකි නිසාත් තම පියාණන් වන දියෙස් මුදලි විසින්ම කරන්නට යෙදුනු උගුලකට ඔහු හසුවිය.
මුලු රාත්‍රිය පුරාවටම කෝපයෙන් පසුවූ ඇසල. දියෙස් වලව්ව දෙදරන තරමට කෑ ගසමින් සිටියේය. විඩින් විඩ අතට හසු වන සියල්ල පොළොවේ ගසන්නට විය.
” තෝපි ඔක්කොම එකතුවෙලා මේ කුමන්ත්‍රණය කලේ. ලැජ්ජා නැද්ද මිනිහෝ ගෑනියෙක් රවට්ටන්න?”
” නෑ. අපි ඕනෑම දෙයක් කරනේ අපේ රට වෙනුවෙන්. උඹ පිස්සෙක් වගේ හැසිරුනාට ඒක වෙනස් වෙන්නෙ නෑ. අපිට ඕනේ උරුමක්කාරයෙක්”
පන්ඩුල ඇසල්ගේ ඇඟට කඩා පනින්නට විය.
” අයයින්ඩි උඹට පුලුවන් ඇති ගෑනුන්ගේ දුර්වලකම් වලින් ප්‍රයෝජන ගන්න. ඒත් මට බෑ. උඹ තමා අප්පච්චිට මේ කෙහෙල්මල් යොජනාව ගෙනාවේ.”
“මම කරපු උලව්වක් නෑ යකෝ. තෝ උදේ හවස මැද වාසලේ ලැග්ගට මම මොනවා කරන්නද?”
” මොකක්ද අයියන්ඩි ඒ කුණුහරපෙ? තෝ මරණවා මම අද”
ඇසල පණ්ඩුල තල්ලුකරගෙන ගොස් බිත්තියකට තද කර දකුණතින් ගෙල තද කරන්නට විය. වලව්වේ සියල්ලෝ තැතිගෙන පසසෙකට වී සිටිත්.ඔවුන්ගේ මැණීයන් පමණක් ඔවුන් දෙපසකට කිරීමට වැර යොදන්නීය.
” අහකට පලයල්ලකො කා කොටාගන්නෙ නැතුව”
” අම්මා අහකට යන්ට මම මූ මරණවා අද”
” වරෙන් මරපන් බලන්න. ඊට කලින් උඹ මට කියපන් උඹ බිසවට මනාප නෑ. ඒ කෙල්ලට වහ වැටිලා හිටියේ නෑ කියලා”
තව තවත් කෝපයට පත් ඇසල පන්ඩුලගේ ගෙල වඩාත් සිර කරන්නට විය.
” පව් කතා කියන්න එපා යකෝ. “
” උඹ ඒ ගෑණිට ආදරේ නැත්තම් මොකටද මෙහෙම කේන්තියෙන් නටන්නේ. ඒකි රජ්ජුරුවන්ගේ රන්දෝලි, උගේ ගෑණි ඌට ඕනේ දෙයක් කරගත්ත දෙන්”
ඇසලට කිසිවක් කියාගත නොහැකි විය. ඔහු පන්ඩුල අතහැර දැමුවේය.
අහස අලු වලාවෙන්වැසී සඳ ගිලගෙන ගොස් ගුගුරා මහ වැස්සක ඇදහැලෙන්නට විය. මැද වාසලහි කොණක වූ වැලි පිල්ල තෙමී වැලි ඉහිරී යන්නට විය. සිංහල අකුරු කිරීම නැවතී ගියේය. ඇසල කිසිදා යලි මැද වාසල දෙස සිට හමන සුලඟකටවත් හසු නොවන සේ කල් ගෙවන්නට විය. පොහොය කිහිපයක් පසුව ගොස් තිබුණි. යලිත් සෙංකඩගල සාමකාමීයැයි පිටතින් බලනා අයෙකුට සිතෙන්නට පිලිවන.
පැහැබර එක් දිනක මල්වත්ත විහාරයට ඇතුලු වුනු ඇසල.මල් පහන් සුවඳ දුම් සුවඳ විනා හාත්පස කිසිවක හෝ කිසිවෙකු නොවිනි. ඇසල හෙමි හෙමින් ඉදිරියට ඇදෙයි. විහාරයේ අනෙක් පස සිට ඉදිරියට එන රන්දෝලි සහ රිදීදෝලි බිසවුන්. ඔවුන් දැක විමතියටත් කලබලයටත් පත් ඇසල. ඔහුට ඔවුන් මගහැර දිව යා නොහැකිය. ඔවුන් දෙදෙනාටම මුහුණ දියද නොහැකිය. ඉතා කේන්තිකාරිණියක වන බිසව ඔහු දෙස වෛරයෙන් බලනවා ඔහුට නිසැකය. නමුත් ඔහුගේ විමතියට, බිසව දුර තියා ඔහු හා සිනාසුනාය.
” බොහෝම කාලයකින් නේද නිලමේ?”
” එහෙමයි බිසොවුන් වහන්ස. ඔබතුමියන්ලාගේ පරිවාර ස්ත්‍රීන් කොහෙද?ඇයි මේ තනිපංගලමේ?”
ජම්මාල් බිසව තම අක්කා පසුපස සැඟවී යන්තමින් සිනාසෙන්නට විය.
” අප දෙදෙනාට තනිවම විහාරයට පැමිණිය යුතු බව අප පැවසුවා”
කිසිවක් සිදු නොවූ ලෙස බිසවුන් හැසිරීම ඇසලට මහත් කුතුහලයක්. නමුත් ජම්මාල් බිසව සිටියදී කිසිවක් විමසිය නොහැකියි. එසේ නොවුනද කිසිවක් විමසිය නොහැකියි.
නමුත් ඇසල තමන්ගේ ගමන නවතා බිසෝවරුන් හා ඉදිරියට යන්නට විය. මොහොතක යනතුරු කිසිවෙක් කතා නොකලහ. ජම්මාල් බිසව සෙමින් ඔවුන්ගෙන් වෙන්ව පසුපසින් ගමන් කරන්නට විය.
” සිංහල ලියා බලනවාද බිසවුන් වහන්ස?”
” නෑ… මට සිංහල ලියන්ට බෑ. මට පිහිටන්නෙ නැ මයෙ හිතේ”
ඔවුන් දෙදෙනා දෙස බලා සිටි ජම්මල් බිසව.
” අක්කන්ඩී… අපේ පාවහන් නම් ඇත්තේ අපි ඇතුලු වූ වාහල්කඩ. “
” හැබෑමයි. යමු ඒවා රැගෙන එමු”
” නෑ…නෑ… මම ගිහින් රැගෙන එන්නම් අක්කන්ඩි රැඳන්ට. “
” එහෙම කොහොමද අතරමං වෙයි..මම එන්නම්”
” අක්කන්ඩි. මම පොඩි ළමයෙක් නෙවෙයි මම අරන් එන්නම්. “
ඇය පෙරැත්ත කොට එතැනින් පැන ගියාය. තමන් හට ගොස් ඕනෑහැටියේ බිසෝවරුන්ගේ පාවහන් රැගෙන ඒමට හැකි වුවත් ඇසල කුමක් හෝ හේතුවකට කිසිවක් නොපවසා සිටියේය. ඔවුන් වෙත හිරුරැස් පතිත වෙමින් තිබුනි.
” මේ හෙවනට වඩින්ට බිසවුන් වහන්ස”
ඇසල ඇය කොහොඹ ගස් සෙවනට කැඳවූවාය.
ඔවුහු තවමත් නිහඬය. ඇසල බිසවුන් දෙස බලා සිටියේය. ඇය ඇත්දල පැහැ ඔසරියකින් සැරසී සිටියාය. එහි මුතු ඇට වලින් කල මෝස්තර විසිර තිබුණි. එතරම් ආභරණ පැලඳ නොසිටි ඇය හිසට අරලිය මල් කිහිපයක ගසා සරසා තිබුණු අතර තොඩු දමා සිටියාය. ඇගේ තෝඩු වෙනදා මෙන්ම සුලඟට සැලෙමින් තිබුණි. එසේ සුලඟට සැලෙද්දී තීඩු ඇගේ කම්මුල් සිප ගනියි. මහා කලබැගනියකට පසුව වුවද ඇසල යලි ඔහුගෙ කවි සිතුවිල්ලේ පසුවන්නට විය.
” තිලකයක් තැබූ සඳ,
රන් තෝඩු නුඹෙ
මුහුණ සිඹිනවද?,
එකම එක දිනකට
ඔබේ කන් පෙත්තක
තෝඩුවක වන්නට
මට ඉඩ දෙනවාද?”
ඇසලගේ හිත පුරා කවියක ගලා යන්නට විය.
නමුත් මේ පන්සල් භූමිය. මේ රජතුමන්ගේ බිසව. ඔහුගෙ හිත නොසන්සුන් වන්නට විය.
” මට සමාවෙන්න මගේ බිසවුන් වහන්ස. මම එදා කල කිසිවක් දැනගෙන නෙවෙයි කලේ . මට අප්පච්චි කරන්නට කීව දේ කලේ”
ඇසල දෑස් පහත හෙලා පවසන්නට විය.
” එදා මොනවත් සිද්ද වුනේ නෑ ඇසල. රජතුමාගෙ ඇඟේ සර්ප විස උඩු දුවලා දෙතුන් පෝයක් වෙදකම් කරන්ට වුනා. මම උන්නෙ ඔබ ඒක දන්නව ඇතිකියලා හිතාන”
” මගේ බිසවුන් වහන්ස. අනේ ඒ සිද්දියෙන් පස්සෙන් පහු අප්පච්චි මාව ගෙනිහින් දැම්මා මාතලේ. ආයෙම එක්කන් ආවේ මෑතකදි. “
අව් රශ්මිය බිසොවුන්ගේ දෑසට වැටෙද්දී ඇය ඉන් මිදීමට හිස පසෙකට ගත්තාය. ඇයට නොදැනී ඇය හැරී තිබූයේ ඇසල දෙසටය. ඇසල හට ඇගේ වරලසේ අරලිය මල් සුවඳ ඉතා සමීපව දැනෙන්නට විය.
එදින රාත්‍රියේ මැද වාසල පොකුණේ දිය නාමින් සිටි අඩ සඳ. බිසෝ කුටියේ ලන්දේසි ඉටිපන්දම් එලියේ සිටි බිසෝවරු දෙදෙන.
” යසයි කල වැඩේ නම්. ජම්මාල් මොකටද අර මනුස්සයා එක්ක මාව තනියම දාලා ගියේ?”
” ඉතින් මම ගියේ අපේ පාවහන් ගේන්ටනෙ”
” ඔව් ඔව්… ඒකටම තමයි. ගිහින් ආයෙ ආවෙ නැත්තේ බොහෝ වෙලවකට. “
” මට හිතුනා අක්කන්ඩිට ඒ මොහොත ලැබෙන්න ඕනෙ මොහොතක් කියලා”
සයනයෙහි සිටි මහ බිසව ඉටි පන්දම් අසල සිටි නැගනිය අසලට පැමිණියාය.
” සමහරවිට ඔව්… ඒ වුනත් පැහිච්ච අම්මන්ඩිට එහෙම් හිතුනෙ කොහොමද?”
” අක්කන්ඩිට රහසක් කියන්නද මම?”
” ඔව් කියන්ට”
ඇය හෙමින් සීරුවේ ගොස් සයනයෙන් අසුන් ගත්තාය.
” මගේ හිත මනාපයි ප්‍රශස්තී මඩුවෙ එක කවිකියන්නෙක්ට. මම දන්නවා මට කවමදාවත් එයා එක්ක කතා කරන්ටවත් ලැබෙන්නෙ නෑ කියලා. ඉතින් අක්කන්ඩිටවත් හිත කැමති මනුස්සයෙක් එක්ක කතා කරන්ට ලැබෙනවා නම් හොඳයිනෙ. “
මහ බිසව හෙමින් ඇය ලඟට පැමිණියාය. ඇගේ හිස අතගෑවාය.
” අපි මේ රටේ, මේ මාලිගාවේ රන් දම්වැල් දාපු හිරකාරියො ජම්මාල්”
දින කිහිපයක් ගතවත්ම සෙන්කඩගල හාත්පස අන්දකාරයක පැතිර යන්නට විය. එය අහසේ කලු වලකුලු වල සිට මාලිගයේ අස්කොන් වල කසු කුසු ගානා භීතියක් තෙක් දිව යන්නට විය. රජු පන්නා දැමීමට කුමන්ත්‍රණයක්. තම පවුල පිටින් රජු විසින් මරාදැමූ ඇහැලේපොල යක්ශාරූඩව සිටියේය. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයින්ට උඩරට පාවදීමේ කුමන්ත්‍රණයේ මූලිකයෙක් විය. පලා යනු විනා වෙනත් කිසිවක් රජුට කල නොහැකි විය. ඔහු රන්දෝලිය හා රිදීදෝලියද රැගෙන මාලිගයෙන් පලා ගිය බවට ආරංචියක පැතිරෙන්නට විය. ඔහුට විරුද්ධ වූවෝ ඔහුසොයා නගරය පීරන්නට විය. රජුට පක්ශපාති ඇතැම් නිලමේවරු රජු පාවාදුන් පිරිසට එකතු වූ අතර ඇතැමුන් සියලු කටයුතුන්වලින් ඈත්ව වසන් වී වසන්ට විය. දියෙස් මුදලි තම දරුවන්ද රජමාලිගයන් පිටතට ගෙන තම වලව්වට වී සිටියේය.
ඇසලගේ සිත දැඩි කලබලයකින් පසු වන්නට විය. කිසිදු ආහාරයක හෝ නොගත් ඔහු නොසන්සුන්ව තම කුටියෙ ඔබ මොබ යමින් සිටියේය. හදිසියේ ඔහුගේ කුටියේ දොරට කිසිවෙකු තට්ටු කරන්නට විය.
” ඇසල මේක අරිනවා”
පන්ඩුල එහි වුත් තිබුනි. ඇසල දොර විවරව කලේය.
” ඇසල මේ අහනවා. හොඳට අහගන්නවා”
” මට ඕනේ නෑ තමුන්ගෙන් මොනවත් අහන්න අයියන්ඩි. පින් සිද්ද වෙයි. මෙතනින් පලයන්”
” පිස්සෙක් වෙන්නෙ නැතුව අහනවා මිනිහො”
පන්ඩුල ඇසල සයනට තල්ලු කලේය.
” උඹට ඕනේ උඹේ බිසව බේරගන්නනෙ. මේ අහපන්. රජ්ජුජුරුවො හැංගිලා ඉන්නෙ බෝමුරේ වලව්වක. උඹට ඕනේ නම් මගේ අශ්වයා අරන් එහි පලයන්. සෙබල ඇඳුමක් ඇඳන් යනවා “
විමතියට පත් වූ ඇසල.
” අයියන්ඩි උඹට මක් වෙලාද?”
පන්ඩුල කිස්වක් නොපැවසීය. මේ වනවිට කුමන්ත්‍රණකරුවන් අත්පත් කරගෙන තිබූ ” ශ්‍රී” ලාංඡනය ඇසලගේ අතෙහි තැබූ ඔහු කුටියෙන් පිටව ගියේය. පන්ඩුල විශ්වාස කරම්දෝ නොකරම්දෝ යන චකිතයෙන් සිටියද ඇසල හට මේ වන විට කල හැකි වෙනත් යමක් නොවිනි. මොහොතකින් ඇසල අසු පිට නැගී දියෙස් වලව්වෙවේ පසුපස වාහල්කඩින් පිටව ගියේය. රාත්‍රිය වුවත් නගරයම පීරමින් රජු සෙවීමෙ කටයුතු ආරම්භ ව තිබිණ. එම නිසාවෙන් ඔහු කැලෑබද අතුරු මාර්ග ඔස්සේ බෝමුරේ කරා ඇදෙමින් සිටියේය.
පසුදින එලිවෙන යාමයේදීම එක්නැලිගොඩ නිළමේ සහ ඉංග්‍රීසී ජාතිකයින් ඇතුලු පිරිසි බෝමුරේ වලව්ව වටලන්නට විය. අවට සිටියවුන්ද එහි රැස් වන්නට විය. හිත් පින් නැති සේ වලව්වෙන් පිටතටත ඇද දමන තමන්ගේ රජු දැක සෝක වන කිසිවෙකුත් එහි නොවීනි.බිසෝවරු පෙන්නෙන්ට නොසිටියහ. වහා වලව්ව තුලට කඩාවැදුනු එක්නැලිගොඩ වසාදමා තිබූ කුටියක සැඟවී ගුලිව සිටි රන්දෝලිය සහ රිදී දෝලිය සොයාගත්තේය. ඔහු හඬා වැලපෙන බිසෝවරු දෙදෙන ඇදගෙන අවුත් වලව්වේ සාලයට ඇද දමූවේය.
” මේ ඉන්නේ පරදේසක්කාර මාන්නකාරියෝ දෙන්නා. මුන්ගේ කනකර ඇදලා දාපල්ලා. ඇඳුම් ඉරා ඇද දාපල්ලා”
ඒ වන විට බෝමුරේ වෙත් පැමිණ් සිටි ඇසලට තමන් බොහෝ ප්‍රමාද බව පසක් විය. වලව්ව ඉදිරියේ සෙනග අතරට එක්වුන ඇසල මිනිසුන් අතරින් ඉදිරියට යන්නට විය. හදිසියේම වලව්වතුලින් ගැහැනියක විලාප දෙන හඬක් ඇසෙන්න විය. එම හඬ ඇසලගේ සවන් හඳුනගත්තේය. ඔහු සෙබලුන් අතරට අවුත් තිබුනි. වලව්ව ඉදිපිට දණ නමා කෝපයෙන් දොඩවන රජු ඔහු දුටුවේය.
අහකට පලයන් එක්නැලිගොඩ. උඹලා මිනිස්සුද? ඔය ගෑණු අතහැරපල්ලා”
වලව්ව තුල සිටි පිරිස අතර වූ ඉංග්‍රීසි තෝල්ක මුදලි කෑ ගසන්ට විය. බිසෝවරු සාලයේ පෙනෙන්නට නොසිටියහ.
“ඔය කවුරුහරි එනවා විගහට.”
තෝල්ක මුදලි එසේ පවසත්ම සෙබලුන් අතරින් අයෙක් ඉදිරියට පැමිණියේය.
” කොහෙන්හෝ රෙදි කඩක් ගෙනවිත් අර ස්ත්‍රීන්ගෙ ඇඟට දමනවා”
උපකාරයට පැමිණි පුදගලයා වල්ලව්වෙහි කුටියකට වහා ඇතුලු විය. විවර කර ඇද දමා තිබූ අල්මාරියකින් පිටතට කඩා වැටි ඇති වස්ත්‍ර. ඒ අතුරින් අතට හසු වන සාරි දෙකක ඇද ඔහු පිටතට පැමිණියේය. නමුත් ඔහුට බිසෝවරු නොපෙනුනි.
” කොල්ලො, බිසෝවරු ඔය කවිච්චිය පිටිපස්සෙ සැඟවිලා. මේ නරුමයෝ උන්ගේ රෙදි ඉරා දැම්මා”
එහි පැමිනි පුදගලයා සාලයේ ඇති විසල් කවිච්චිය පසුපසට හිස යොමා බැලීය. යටට අඳිනා සුදු පිරුවට පමණක් ඉතිරිව එකට ගුලි වී සිටින රන්දෝලිය සහ රිදී දෝලිය. ඔහු අත වූ සාරි දුටු විගස කඳුලු සලමින් තම සොයුරියට පසුපස සිටි ජම්මාල් බිසව අත දිගහැර රෙදිකඩ ඉල්ලා සිටියාය. ඔහු වහා එය ඇය අත තැබීය. මහ බිසව හිස පහතහෙලා සිටින්නීය. ඇගේ උරහිස් පුරා රුදිරය හැලී ඇති. එහි පැමිණි පුද්ගලයා සාරිය දිගහැර ඇය වටා සීරුවෙන් දැමුවේය.
” මගේ බිසොවුන් වහන්ස”
බිසව එම කටහඬ හඳුනාගත්තාය. ඇය අපහසුවෙන් හිස ඔසවා බැලීය. ඇසලගේ දෑස් කඳුලින් පිරී තිබුණි. ඇසල ඇගේ උරහිසෙහි ඇති ලේ පැල්ලම් දෙස බලා ගැහෙන හදින් ලේ ගලා එන්නෙ කොතැනකින්දැයි දෑස් ඔසවම්න් බලන්නට විය. එකවර ඔහුගෙ හදවත දෙදරා ගියේය. ඇගේ දිගටි කන් පෙති ඉරී ගිස් ලෙයින් තෙත්වී මස් වැදැලි වී තිබුණි. වෙනදාට තෝඩු දමනා කන්පෙති, ඇසල ආසා කල ආලය කල් කන් පෙති. මහ පොළොව සෙලවී යන්නාක් මෙන් ඔහුට දැනෙන්නට විය. ඔහුට තමන් හිස වටා ගැටගසා තිබු සෙබල සලුව ගලවා බිසවගේ කන් පෙති මත තබා සෙමින් රුධිරය පිස දමන්නට විය. ඇය ඉතා අසරණ ලෙස ඔහු දෙස බලාසිටින්නට විය.
” අයියන්ඩි අපව බේරගන්ට. අපව මෙතැනින් අරන් යන්ට. බේරගන්ට”
ජම්මාල් බිසව වැලපෙන්නට විය.
” ගෙනියන්නම් බිසවුනි. “
එවිටම තෝල්කමුදලි එහිවුත් කොහොඹතෙල් මංජුසාවක ඔහු වෙතට දුන්නේය. ඇසල සීරුවෙන් බිසවගේ කන්පෙති මත කොහොඹ තෙල් තවරන්නට විය.ඇයට වේදනාව දරාගත නොහැකිව ඇසලගේ උරහිස මත හිස තබාගත්තාය.
තෝල්කමුදලි යැවූ පණිවිඩයකට අනුව රජ පවුල රැගෙන යාමට ඉංග්‍රීසින් විසින් පල්ලැක්කි එවා තිබුණි.
” නුඹලා මේ වෙනකන් දේවයන් වහන්ස, දෙවියෝ, අප්පච්චි කියමින් ගෞරව කල රජු නේද මේ? මෙසේද එතුමට සලකන්නේ? ඔවුන් රාජකීයත්වයට, තේජසට හානි කල නොහැකියි. ඔහු ඔබේ දෙවයන් වහන්ස, දෙවියො, අප්පච්චි. මේ අශීලාචාර අගෞරව අපහාස කිරීම් හෙලා දකිනවා අප”
තෝල්ක මුදලි රජු සහ බිසෝවරු පල්ලැකි වෙත කැටුව යන ලෙස අණ කලේය. ඇසල හෙමින් සිරුවේ බිසොවුන් සහ ඇගේ සොයුරිය නැගිටවා පිටතට කැඳවාගෙන ආවේය. තෝල්කමුදලි ජම්මාල් බිසවට පල්ලැක්කියට නැගීමට සහය වූවේය. ඇසල බිසවගේ හට එහි ගොඩවීමට උපකාර කලේය. ඇය එහි අසුන් ගත්තාය. ඇගේ දකුණතින් තවමත් ඇසලගේ අතින් අල්ලාගෙන සිටියි. නිරන්තරයෙන් ආඩම්බර ලීලාවෙන් සිටි ඇසලගේ තිලකයක් තැබූ හඳ අදහඬාවැටුනු මුහුණින් ය. ඇගේ නලලත තිලකය මැකී ගොසින්ය. සිරුරේ පිරුවට පුරා ලේ පැල්ලම් , සීරුනු තුවාල. පල්ලැක්කිය ඔසවන මොහොතේ බිසව යන්තමින් හිස ඔසවා ඇසල දෙස බැලුවාය.
” මගේ බිසවුන් වහන්ස”
ඔහු එසේ කීවත් සියල්ලන්ගේ ඝෝෂාව හමුවේ එය ඇයට ඇසුනෙ නැත. සෙනග අතරින් ඔහු පසුපසට තල්ලු වෙතම ඔහු එතෙක් අලාගෙන සිටි ඇගේ අත අතහැරෙන්නට විය.
” වෙන්කත රෙංගම්මා බිසව”
මැද වාසලෙහි බිසවගේ පැරණි කුටිය තුල සිටි තරුණියට එහි නිලදාරිණියක පවසනවා ඇසිනි.
” වෙන්කට් රංගම්මාල්.”
තරුණිය ද්වාරයෙන් පිටතට අඩියක් තබමින් කිසිවෙකුට නෑසෙන සේ මුමුනන්නට විය.
එහි නිලදාරිනිය තවත් පිරිසකට මාලිගයේ පිළිබඳ විස්තර කරමින් සිටියාය.
“මිස් ලබන අවුරුද්දෙ එන්න. ඒ එනකොට මේ මාලිගාව ලස්සනට හදලා කාන්තාවන්ටම හදලා තියනවා අපි. රැජිනියන්ගේ පිළිම හදලා එහෙම…. තව”
එහි වූ වයස්ගත නිලදාරිනියක තවත් විස්තර කිරිම කරන්නට තැත් කලද තරුණිය ඇයට ස්තූති කර මැද වාසලෙන් පිටවූවාය. ඇයට ඇගේ හිස දෙදරා යන බවක් වැටහිනි. පිටතට පැමිණි විගස එකවර මුහුණට වැටුන හිරු රශ්මිය ඇයට දරාගත නොහැකිවිනි. මොහොතකින් ඇය සිහිසුන් විය.
” රංගනා …රංගනා…ඇස් අරින්න”
කිසිවෙක් අමතනු ඇයට යන්තමින් ඇසුනි. ඇය අපහසුවෙන් දෑස් විවර කරන්නට විය.
” රංගනා… මොකද වුනේ? නැගිටින්නකො ඉස්සෙල්ලා”
ඇය යලි තිගැස්සී ගියාය. ඇගේ දෑස් ඉදිරිපිට වූයේ ඇසලය.දිගටි මුහුණ, පුලුල් නලල් තලය, සිහින් දෑස්, මුහුණේ තැනින් තැන යන්තමින් වැවී තිබු රැවුල. වල ගැහන කම්මුල්.
” ඇසල අයියා අඳුනන මිස් කෙනෙක්ද? මේ දැන් මැද වාසල කෞතුකාගාරෙන් එලියට ආවේ”
” ආ.. ඔව්. අපේ යුනිට් එකට පෙරහැර නැරෙට් කරන්න එන නංගි කෙනෙක්.”
රංගනා වත්තම් කර තිබුයේ මැද වාසල තුල පැරණි පුටුවකය. ඇය සෙමින් වටපිට බැලුවාය.
” අයියේ අපි මෙතනින් එලියට යමු. මෙතන ඉන්න බෑ”
රංගනාගේ බෑගය අතට ගෙන ඇයට වාසලෙන් පිටවීමට ඔහු උපකාර කලේය. ඔවුන් පිටවනවාත් සමගම ඔබ මොබ යන සෙනග අතරේ තවත් තරුණයින් කිහිප දෙනෙක් මාලිගා මාධ්‍ය ඒකකය දෙස සිට පැමිණෙමින් සිටියහ. ඔවුන්ගෙන් ඇතැමෙක් අත ඩී එස් ආර් එල් කැමරා විය
” ඇසලයා මොකද වෙලා තිබුනේ? කරදරයක් නැහැනෙ. ? මේ මේ නංගිනෙ. “
” නෑ… නෑ පන්ඩුල අවුලක් නෑ. මෙයාට ටිකක් ඩිසි ගතියක් ඇවිත්.”
” එහෙනම් කමක් නෑ. අපි මේ අලි බලන්න යනවා. චේන්ජ් එකකට ඒ පැත්තට යමු”
පන්ඩුල යෝජනා කලේය.
” මට නම් තව වැඩ ගොඩක් තියෙනවා කමක් නෑ යමු”
ඇසල රංගනා සමඟ අනෙක් පිරිසට එකතු විනි. මැද වාසල පසු කර යමින් සිටි රංගනා යලි එක් වරක් නැවතී එදෙස බලා සිටින්නට විය. වාසල දොරටුව අසල ඔසරියකින් සැරසුනු ජම්මාල් සොයුරිය ඇය යන දෙස බලා සිටිනවා ඇය දුටුවාය. ජම්මාල් බිසව තමන් හට සතුටින් අත වනනු ඇය දුටුවාය. ඇය යලි හැරී පිරිසට එකතු විය.
කොළ අතු හොඬෙන් ගත් අලි ඇතුන් ඔවුන්ගේ ඇඟේ ගෑවි නොගෑවී යත්. මොහොතකට ඇතුන්ගේ ගෙජ්ජි හඬ පමණක් ඇසේ. මාලිගය දෙබපස ගාල් කර සිටින සද්දන්ත අලි ඇතුන් සහ ඔවුන් ඉදිරියෙන් ඡායාරූ ගන්නා සුවහසක් පිරිස්. මාලිගයෙන් එපිට පදික වේදිකාවේ රෙදි, ඉටිකොල එලා පෙර්හැර නැරඹීමට සැරසෙන පිරිස්. අතරින් පතර පොලිස් නිලදාරීන් හමුදා නිලදාරීන්.
” ඇසල උඹ මේ රංගනාට කිව්වද උඹට දුවෙක් ලැබුනා කියලා”
පන්ඩුල විමසන්නට විය.
” ඒවා කියනවද ගෑණු ළමයි එක්ක. මෙයා ඉන්නෙ මාලිගාවෙ ඇතා වගේ. ඕවා කිව්වම මෙයාට තියෙන ආකර්ශනෙ නැතිව යනවනෙ”
එහි සිටි තවත් තරුණයෙක් සරදම් කරන්නට විය.
” පලයන්. මම කිව්වා. ෆොටෝ එකකුත් එව්වා නේද රංගනා”
” ඔව් …ඔව්…. දුවට නමක් දැම්මද?”
” ඔව්… අපිට ලැබුනු අකුරුවල න, නා, නි, වගේ තිබුනා.ඒකෙන් වැඩේ ලේසි වුනා. “
” ඉතින් මොකක්ද නම?”
” “නිකිනි”, බබාගෙ අම්මට ඕනෙ වෙලා තිබුනෙ ඒ නම දාන්න”
ඔවුහු සෙමින් අලි ඇතුන් අතරින් ඉදිරියට යමින් සිටියහ. හස්තීන්ගේ සොඳුරු දසුන් ඔවුහු කැමරා කාචයට හසු කරගනිම්න් සිටිය හ.
” ඇසල… මට අහන්න බැරි වුනා. අර උඹලගේ වලව්වේ තිබිලා හම්බවුන ලේන්සුවට මොකද වුනේ?”
පන්ඩුල විමසන්නට විය
” ඒක අප්පච්ච් පුරාවිද්‍යා එකට යවන්න ඕනෙ කීවා. ඒක තිබුන ඒ බොක්ස් එක එක්කම. “
ඇසල පිලිතුරු දුන්නේය.
” ලේන්සුව?”
රංගනා විමතියෙන් විමසන්නට විය.
” ආ ඔව්. අපේ වලව්ව සෑහෙන්න පරණයිනෙ. මම හිතන්නේ අවුරුදු දෙසීයක් තුන්සීයක්වත්. දැන් ටිකක් බාල්ක එහෙම අබලන් වෙමින් තියෙන නිසා අප්පච්චි ඒක රෙනොවේට් කරමු කීවා. එහෙම අපි කලර්වොශ් කරන් යනකොට එක තැනකින් බිත්තියක් කැඩුනා. ඒ කැඩුන තැන කුහරයක් වගේ. එතනින් අත දැම්මම එතන තිබුනා නිකන් ගල් අල්ලපු පිත්තල මංජුසාවක් වගේ එකක්. අපි හිතුවෙ ජ්වෙලරි කියලා. ඒත් ඒකෙ තිබුනෙ ලේන්සුවක්”
” ලේ ගෑවුන ලේන්සුවක්?”
” ආහ් ඔව්. …ඒත් ඔයා කොහොමද දන්නේ? මම කිව්වද කලින්?”
ඇසල තරමක් විමතියට පත්වුවද එය අසා දැනගැනීමට පෙර ඔහුට ඉදිරියට පැමිණෙන ලෙස පන්ඩුල පවසන්නට විය.
රංගනා ඇසල ඇය මග දමා ඉදිරියට යනු බලා සිටියාය. ඇය මොහොතකට දෑස් වසා ගත්තාය.
බෝමුරේ වලව්වේ සිට සිංහලයාගෙ කුමන්ත්‍රණයෙන් ඉංග්‍රීසින්ට අතට හසුවූ රජ පවුල. සෙමින් එසවෙන පල්ලැක්කි. ඇසලගේ අතින් අත් හැරුනු බිසවගේ අත. ක්ෂනයකින් ඇය තම කන්පෙති පිස දැමූ රෙදිකඩ පැල්ලැක්කියෙන් පිටතට දැමුවාය. කෙතරම් සෙනග අතර වුවත් ඇසල එය ඇහිඳ ගත්තේය.
පෙරහැර ආරම්භ වන පලමු වෙඩිල්ලේ හඬින් රංගනා යලි දෑස් විවර කලාය. ඒ වන විට ඇසල මේ ආත්මයේද බොහෝ දුර ගොස් තිබුණි. සියලු රහස් දන්නා සෙංකඩගල කිසිවක් නෝපවසා සුසුමක් හෙලීය. සිහින් සුලඟක් වූ ඒ සුසුම පත්තිරිප්පුව, වාහල්කඩ වලාකුළු බැම්ම මතින් සෙංකඩගල පුරා විසිර යන්නට විය
– සුමුදු