දම් පාට අයිස් ක්‍රීම්!

දම් පාට බෙරි කෑලි තැන තැන වැටුන, රෝස පාටක් කලවම් මේ අයිස්ක්‍රීම් එකට තමා මම ආසම.

වොෆල් කෝන් එකක් උඩට දාලා දුන්නොත් අන්තිමට ඒකත් කාලා දාන්න පුලුවන්. අයිස්ක්‍රීම් කඩයක් කියන්නේ ලොකුම ලොකු පාටපෙට්ටියක්. කහ පාට, රෝස පාට, පලතුරු කෑලි එක්ක තියෙන ලාම ලා කොළ පාට, චොකොලට් පාට. අර වක හැන්දෙන් ගන්න මෙන්න මේ වගේ බෝල දෙකක් තුනක් කප් එකකට දාලා ඊට උඩින් චූටි චූටි සීනි බෝල කෑලි ඉහලා, චොකොලට් කූරු දෙකකුත් උඩින් ගහලා තමා දෙන්නේ. හිම කිරම” කියන්නේ සිංහලෙන් අයිස්ක්‍රීම් වලට. ඒක පබිලිස් සිල්වා මහත්මයාගේ පොතක තිබිලා තමා මම ඇහිඳ ගත්තේ. හිම ගුලියක් කනවා වගේ හැඟීමක් තමා ඒ වචනෙන් එන්නේ.

මට තිබුනා දම් පාටින් වයිරම් වැටුන හිම ගුලියක් වගේ ලස්සනම ලස්සන අතීතයක්. කාගෙදො මන්දා වරදකට අවුරුදු ගානක් පරිස්සම් කරපු මගේ හිම බෝලේ දැන් හොඳටම දියවෙලා ගිහින්. පාටත් ඵේ කලවම් වෙලා. කැත රෝස පාටක් වෙලා. ආයේ ඒක රවුම් වෙන්නේත් නැහැ.

ඒක ගැනම හිත හිත දුකෙන් ගෙයි අස්සෙම හැන්ගිලා තමා ඉන්නේ. ඒ වුනාට බඩු අරන් එන්න කියලා ඔන්න මට එලියට එන්න වුනා. සුපිරි වෙලඳ සල් ඇතුලේ ඇවිදින්න මම හරි ආස කෙනෙක්. ඒ වුනත් දැන් මිනිස්සු පේන එකම මට කරදරයක්. මොනව වුනත් අම්ම දීපු ලිස්ට් එකත් තනියම යන්න කම්මැලි නිසා, පඩුවේ පුටුවක් උඩට වැටිලා හිටිය තාත්තවත් ඇදගෙන බඩු ගන්න ගියා. තාත්තා බඩු බක්කිය තල්ලු කරගෙන එනවා මම බඩු දානවා. තාත්තව ගෙනියන එක හරිම පාඩුයි. කිසිම බඩුවකට අදහස් දක්වන්නේ නෑ. ඔහේ හිටගෙන ඉන්නවා.

” තාත්තේ,ලෙමන් පෆ් ගන්නද වේෆස් ගන්නද?”

” හරි හරි ඕනේ එකක් ගන්න. ඉක්මනට ගන්න”

පැකට් ඇතුලෙ තියෙන දේවල්, පූසන්ට මාලු, කිරි, බටර් එහෙම අරන් එළවලු පළතුරු පැත්තට හෙමින් හෙමින් අපේ බක්කියත් තල්ලු කරන් තාත්තයි මායි එනවා. එක පාර කවර තුන හතරක් කවර රෝලෙන් ගලවගත්ත මම ඒවට අමු මිරිස්, ලෑනු ( එහෙම තමා මම කියනනේ) දාගන්න ගත්තා. තාත්තගෙන් නන් වැඩක්ම නෑ. පහ වසරේ පොඩි ළමයෙක් වගේ කරත්තේ අල්ලගෙන පැද්දි පැද්දි ඉන්නවා.

ඒ අතරේ අපේ තාත්තට වඩා ටිකක් වයස වැඩියෙන් පේන ජෝඩුවක් ඇතුලට ආවා. අපි කියමුකො විල්සන් මාමායි නැන්දයි කියලා. ඔන්න නැන්දා කවර රෝලෙන් කවර අරගෙන එළවලු තියෙන තැනට හෙමින් හෙමින් ගියා. විල්සන් මාමා ආව ගමන් එක පාරට ෆුඩ් සිටි එකේ ඇතුලට දුවගෙන ගියා. මමත් මගේ වැඩේ පාඩුවෙ කරගෙන යනවා.

මෙන්න විල්සන් මාමා එනවා මැජික් අයිස්ක්‍රීම් කෝන් තුනක් මල් පොකුර වගේ උස්සගෙන.

” හරි මම මේවා අරගත්තා”

මාමගේ මූනම හරි සතුටින් පිරිලා.

” අනේ ඩැඩා,දැන්ම අරගෙන බැහැනෙ. දියවෙයි. අපි යන්න කිට්ටු කරලා ගමු”

” ඒ වුනාට මේව අරගමු”

” ඕක තියලා එන්න ඩැඩා”

විල්සන් මාමා හරිම දුකෙන් අයිස්ක්‍රිම් කෝන් ටික අරගෙන ආයෙ ගියා.

මට තිබුන ප්‍රශ්නේ, අර තුන් වෙනි අයිස් ක්‍ර්‍රිම එක කාටද කියලා 🤔 . සමහර විට මුනිබුරාට හරි මිනිබිරීට හරි වෙන්න ඇති. එහෙම නැත්තන් මම වගේ ගෙදර වයසට ගිය ලොකු ළමයෙක් ඇති. එහෙමත් නැත්තන් සුවර් එකටම අයිස්ක්‍රීම් එකක් වැඩිපුර අරන් දෙනවා කියලා තමයි නැන්දා විල්සන් මාමව එක්කගෙන ආවෙ. 😊

– සූමුදු-

Leave a comment