ජෝන් දුරෙයිරාජ්!

“සුභ මාස්ටර් පොංගල් දිනයක්!” මාගේ ශිෂ්‍යයෝ තයිපොංගල් දිනයට එකිනෙකා හට සුභ පැතීය. අන්තර්ජාලය හරහා පන්ති පැවැත්වන නිසාවෙන් ඔවුන්ගේ සුභ පැතුම් “සූම් චැට්” තුලින් සිදු කෙරිනි. ගුරුවරයා හට සියලුම ශිෂ්‍යයන් විශේෂ‍ය .නමුත් මෙම කණ්ඩායමේ ඇති එක් සුවිශේෂීත්වයකි. ඒ ඔවුන් සියල්ලෝම එක් කොලිවුඩ් රංගන ශිල්පියෙකුගේ රසිකයෝ වීමය.

දශක කිහිපයක් පුරා සිහින කුමරෙකු ලෙස සිටින විජෙයි රංගන ශිල්පියාගේ එතරම් විශාල රසිකයෙකු නොවූ මා මෙම සිනමාපටය වෙනුවෙන් බලා සිටිමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකකි. සිනමාපටයට පෙර එලිදැක්වූ එහි එක් ගීතයකට ආසක්ත වීම එන් එකකි.

“ජීවිතය හරිම කෙටියි මිත්‍රයා, සෑම විටම සතුටින් ඉන්න. බොහෝ ප්‍රශ්න පැමිණ යාවී, සැහැල්ලුවෙන් ඉන්න”

දෙවැන්න නම් මෙහි ප්‍රතිවීර චරිතයට දායක වන, වෙනස්ම ආකර්ශනයක් ඇති විජෙයි සේදුපති ශිල්පියා හා විජෙයි අතර ඝට්ටනය කෙසේ දැයි නැරඹීමටය. සාමන්‍යෙන් වීරයක් දෙදෙනෙක් එකම තිරයක හමු වෙන අවස්තා ඉතා විරල වීම ඊට හේතුවයි. කෙසේ හෝ, සැබැවින්ම මා ඒ කාලයේ කෙතරම් ප්‍රතික්ෂේප කලද විජෙයි සතුව කුමක් හෝ මගහැරිය නොහැකි ආකර්ෂණය ක් තිබෙන්නට ඇත. සිනමාපටයක් තිරගතවන තුරු මග බලා සිටි ප්‍රතම අවස්තාව ද, කොලිවුඩ් සිනමාපටයක් නැරඹීමට සිනමා ශාලාවකට ගිය පළමු අවස්තාවද මෙයයි. ඔව්, රට විවර වූ විගස මම කළ එකම වැදගත් කාර්‍ය්ය එයයි. 😁

ලෝකේශ් කනගරාජ් නම් නවක අධ්‍යක්ෂ වරයාගේ නිර්මාණයක් වන ” මාස්ටර්” මා එතෙක් මෙතෙක් නැරඹා ඇති විශිෂ්ටතම කොලිවුඩ් චිත්‍රපටය ලෙස දකිමි. සෑම දර්ශනයක්ම ඉතා සියුම් ලෙස පෙලගස්වා ඇති අතර සාමන්‍යෙන් කොලිවුඩ් චිත්‍රයපටයක ඇති අතිශයෝක්තියද මෙහි එතරම් දක්නට නැත. ” මාස්ටර්ස්” යන වචනය අතිශය අමිහිරි යුගයක් පසු කරමින් සිටියදි හමුවූ ” මාස්ටර්” පිළිබඳ මා තුල ඇත්තේ උන්මාදයකට සමාන හැඟීමකි. අම්මා පවසන අන්දමට මා පැණි හැලියක වැටී ඇත. මා අත්විඳිනා මත් බව තුල ඇති විචිත්‍රත්වය වචනයට පෙරලාගත නොහැකිව බොහෝ කාලයක් සිටියෙමි. මින් මිදීමට හැක්කේ සිතට ගලා එන සියල්ල ලියා තැබීමෙන් පමණක් යැයි සිතමි.

“මාස්ටර්” ගුරුවරයෙකු වටා ගෙතුනු කතාන්දරයකි. ගුරුවරයා වීරයා වන සාහිත්‍ය නිර්මාණ, සිනමා නිර්මාණ, ටෙලි නාට්‍ය දුලබ සිදුවීමක් නොවේ. පැහැදිලි අරමුණක් ඇති, දරුවන් තමන් වෙත නම්මවාගත හැකි බොහෝ ගුරු චරිත සිනමාවේ දී අපට හමුව ඇත. “තාරේ සමීන් පර්” හින්දි සිනමා පටයේ අමීර් ඛාන් රංගන ශිල්පියාගේ චරිතයද, ” හෝ ගානා පොකුණ ” සිනමා පටයේ අනසුයා රංගන ශිල්පිනියගේ චරිතයද එවන් ගුරු භූමිකා නිරූපණය කල විශිෂ්ඨ අවස්තා ලෙස මම දකිමි.

ජේ.ඩී කතාන්දරයට පිවිසෙන්නේ සේවය අත් හිටවීමකට ලක් වූ ආචාර්‍යවරයෙක් ලෙසය. විශ්වවිද්‍යාලයේ ආදි කතෘ හැරුණු කොට අන් කිසිවෙක් ඔහු පිළිගැනීමට කැමැත්තක් නැත. ජිවිතයේ යම් තැනක සිදුවූ කඩාවැටීමක නිසාවෙන් ඔහු අපිළිවෙල ජීවිතයක් ගෙවයි. වෙරිමතින් නින්දට ගොස් ව්‍යාකූලව ඇහැරෙන ඔහු හට ඕනෑම තැනක නින්දට යා හැක. ඉගැන්වීම පමණක් ඔහු අතින් නිරායාසයෙන් සිදුවේ. ඔහු තමන් උගත් විශ්වවිද්‍යාලයේම මනෝ විද්‍යා ආචාර්‍යවරයෙක් ලෙස කටයුතු කරයි. ඔහුගේ පෙරළිකාර අදහස් අනෙක් ආචර්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කෙරෙයි. විද්‍යාල මැතිවරණයට සියල්ලෝ විරුද්ධ වන අතර ඔහු පමණක් ඊට සහය පල කරයි. මැතිවරණය නිසාවෙන් කල කෝලහල සිදුවී විදුහලට අලාභහානි සිදුවුවහොත් තමන් තනතුරෙන් ඉවත් ව යා යුතුය යන පොරොන්දුව මත මැතිවරණය පැවැත්වීමට ඉඩ ලැබේ. විද්‍යාලයේ සවස ඉගෙනුම ලබන සිසු පිරිසෙන් ශිෂ්‍යාවක් වන සවීතා (ගෞරී ක්‍රිශ්නන්) මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අතර උදැසන ඉගෙනුම ලබන සිසු පිරිසෙන් පොහොසත් පවුලක අහංකාර ශිෂ්‍යයෙක් වන භාර්ගව් ( ශාන්ත්නූ) ඉදිරිපත් කෙරෙනු ලැබේ. සිසුවිය ජයග්‍රහණය කරන නමුත් ඇය ප්‍රතිවාදි සිසුවා හා තනතුර බෙදාගැනීමට ඉදිරිපත් වේ. සිසුවා ඒ අදහසට නැමති වුවත් දේශපාලනඥයකු වන ඔහුගේ පියා එවන ලද පිරිසක විද්‍යාලයතුල කලයක ඇති කරයි. මෙම නිසා ජේ.ඩී හට විදුහල හැර යාමට සිදු වේ. ඔහුගේ අනුදැනුමකින් තොරව නමුත් ඔහුගේ අත්සනින් යුතුවූ ඉල්ලීමකින් ඔහු ළමා පුනුරුත්ථාපනය මධ්‍යස්තානයක ගුරු තනතුරට යැවෙනු ලැබේ.

වීරයා කේන්ද්‍ර කරගත් සිනමාවක වන කොලිවුඩ් සිනමාව වෙනස් සිනමාවකි. විජෙයි වැනි අර්ධ දේවත්වයේ තබා සැලකෙන ශිල්පියෙකු රංගනයෙන් දායක වන චිත්‍රපටයක් යනු එම ශිල්පියා සැමරීමට ලක් කෙරෙන යමකි. ඒ හැරුනු කොට මෙම ශිල්පියාගේ ශෛලිය ඒ අයුරින්ම තබා ගැනීමට අධ්‍යක්ෂ වරයා සැමවිට වග බලා ගනියි. මාස්ටර් හී විශේෂත්වය නම් මෙහි විජේයි විසින් පණ පොවන චරිතය සාමන්‍ය පුද්ගලයෙකු ලෙස නිරූපණය කිරීමය. ගුරුවරයා ආදර්ශමත් චරිතයක විය යුතු නිසාවෙන් කැඩී බිඳී විසිරී ගිය අයෙක් ගුරුවරයෙක් ලෙස පෙන්වීම බොහෝ විට සිදු නොවන්නකි. නමුත් ජේ. ඩී එවන් අයෙකි. එනමුත් ඔහු දේව්දාස් හෝ කබීර් සින්ග් කෙනෙකු නොවේ.ඔහුගේ කතාව වෙනස් එකකි. ඔබ ඔහුගෙන් එය විමසුවහොත් ඔහුට පැවසීම කතන්දරයක් ඇත. සැබැවින්ම කතන්දර බොහොමයක් ඇත. ඒවා ඔහු විසින් ” කුට්ටි ස්ටෝරි” නැතකොත් කුඩා කතා යනුවෙන් හඳුන්වයි. ඔහු චිත්‍රපට කතාන්දර ගෙන ඒවා තමන්ගේ කතාව ලෙස කියයි.

“විශ්වවිද්‍යාලයේ අන්තිම වසරෙ ඉන්නකොට උගන්නන්න ආවා අලුත් ටීච කෙනෙක්. එයාගේ නම මලර්. ඇත්තටම එයාට ආදරේ කලා. ඒ වුනාට හදිස්සියෙම ඒ ගැණු ළමයට ඇක්සිඩන්ට් එකක් වෙලා හැමදේම අමතක වුනා”. ඒ මලයාලම් සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වන ” ප්‍රේමම් ” හී කතාන්දරයේ එක් අවස්තාවකි ජේ.ඩී විසින් තමන්ගේ කතාව ලෙස කියයි.

කෙසේ වෙතත් කතාන්දරයේ දිගහැරීම ආරම්භ වන්නේ ප්‍රතිවීර චරිතය ” බවානි ” හඳුන්වා දීමෙනි. වයස දා හතක පමණ පිරිමි ළමයෙකු, ඔහු නොකල වරදක් පටවා පුණුරුත්තාපන මධ්‍යස්තානයක් වෙත යැවෙනු ලැබේ. එහිදී ඔහුට අමානුෂික වද හින්සන ලබා දේ. ඔහු සෙමෙන් සෙමෙන් දරුණු පුද්ගලයෙක් බවට හැරවේ. කුඩා වයසේදීම අපරාධ වෙත හැරෙන ඔහු වැඩිහිටියෙක් වූ පසු තම අපරාධ වෙනුවෙන් නීතියට ඉදිරිපත් කිරීමට දරුවන් යොදා ගනියි. පුනුරුත්තාපන මධ්‍යස්තානයට යවන ළමුන් හට මත් ද්‍රවය ලබා දී රහසින් ඔහුගේ පාලනය ගෙන යයි.එහි ගෙන්වන කිසිදු ගුරුවරයෙක් ළමුන්ගේ හිරිහැර නිසාවෙන් එහි රැඳ්න්නේ නැත. ප්‍රාන්තයේ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන සියල්ලටම දන්වා කෙසේ හෝ ගුරුවරයෙක් ගෙන්වන ලෙස ඉහලින් නියෝගයක් නිකුත් වේ. එතැන් සිට ජේ.ඩී ගේ කතාන්දරය දිගහැරෙන්නට පටන් ගනී

කොලිවුඩ් චිත්‍රපටයකට මෙය වෙනස් ආකාරයේ ආරම්භයකි. කොලිවුඩ් සිනමාවේ සාමන්‍යෙන් සිදුවන සංසිද්ධිය වන ප්‍රතිවීර චරිතය වීරයාගේ ජන්මාන්තර හතුරෙක් වීම ” මාස්ටර්” හි නැත. කතාන්දරයේ අවසානය තෙක් ජේ.ඩී සහ බවානි කිසිවිටෙකත් මුහුණට මුහුණ මුණ නොගැසේ. ප්‍රතිවීරයා පළමුවත් , වීරයා දෙවනුවත් හඳුන්වාදීම මා දකිනා ආකාර දෙකකි.

පළමුවැන්න නම් කතාවේ විකාශනයට අවශ්‍ය පසුබිම සැකසීම ඉන් සිදුවන බවය. සමාජයට හානියක සිදුකරන පොදු සතුරෙක්ගේ ඇතිවීම මුලින් සිදුවන අතර ඊට පිළියම් කළ හැකි වීරයෙක්ගේ අවශ්‍යතාවය ඇති වූ මොහොතේ සිට වීරයා ඉදිරිපත් කිරීම සිදු වේ. නමුත් ගුරුවරයා යන භූමිකාව කැති පිහි මන්නා සහිතව නොපැමිනෙන නිසාත්, සාමන්‍ය පුද්ගලයෙක් නිසාත් ඔහුගේ දීර්ඝකාලීන ශක්තිමත් ගොඩනැගීමෙහි කෙලවර ඔහු ප්‍රතිවාදියා ඉදිරියට ගෙන යනු ලැබේ.

දෙවැන්න නම් බවානී ගේ චරිතයට විජෙයි සේදුපති ශිල්පියා විසින් පණ පෙවීමය. කොලිවුඩ් සිනමාවේ දැවැන්ත වීර චරිතයක වන ඔහු වීරයාගේ එක් පහරකින් බිම වැටෙන අයෙක් ලෙස පෙන්වීම සාධාරණ නොවේ. ඔහුගේ චරිතය විජෙයි ගේ චරිතය තරමටම ගොඩනැගීම නිසාවෙන් විජෙයි ගේ ප්‍රබලත්වයට සමාන ප්‍රතිවීදියෙකු ඇතිවේ.

ලෝකෙශ් කනගරාජ් විසින් නිර්මාණය කරනු ලැබූ ජේ.ඩී චිත්‍රය තුල ගුරුවරයා පෙන්වන ආකාරය අපූරුය. අපිළිවෙල කොණ්ඩය රැවුල, නිසි ලෙස යට නොකල කමිසය, සෑමවිටම කණේ සිට පහලට වැටෙන කන් යොමුව, අව් කණාඩිය, පොත් බෑගය, යන සියල්ල සමග මාගේ කෝණයෙන් නම් අවසන් වසරේ ජ්‍යෙෂ්ඨයෙක් සේ පෙනෙන ජේ.ඩී සම්මත ගුරු රූපයෙන් වෙනස් වේ. තිරයේ ඔහු පළමුව හඳුන්වා දෙනු ලබන්නේ ශිෂ්‍යන්ගේ විස්තරකිරීමක් තුලය.ඔවුහු ජේ.ඩි එහි නොසිටි බව පවසන අතර සැබැවින්ම ඔහු එහි සිටි බව ප්‍රේක්ශකයාට පෙන්වනු ලැබේ.ශිෂ්‍යාවකට හිරිහැර සිදු කිරීම නිසා පංති තහනමකට ලක් වූ සිසුන් දෙදෙනෙකු ඔහු විසින් හඹා ගොස් අල්ලාගෙන එනු ලැබේ. එය සිනමා ව්‍යවහාරයෙන් ” mass entry” එකකි.

” මෙතන අපි ගුරුවරයෙක් මරන්න යන්නේ. ඒක බලන්න ධෛර්ය තියෙන අය මෙතන ඉඳලා , අනෙත් අය එලියට යන්න”

ගුරුවරයා ශාරීරිකව එතරම් ශක්තිමත් අයෙක් ලෙස නොපිලිගන්නා සමාජයක ඔහු එය එසේ නොවන බව පෙන්වීම ආරම්භ කරයි. බොහෝ විට මෙම සිසුන් හඹා යාමේ සිදුවීමෙන් අනතුරුව ඔහු රැකියා තහනමට ලක්වන්නට ඇත. අරමුණක් නැතිවී ගොස් විස්කි වීදුරුවට යටවී තදින් නිදා සිටින ජේ.ඩී ආදි ශිෂ්‍ය උත්ස්වයක වෙනුවෙන් රැගෙන යාමට ඔහුගේ ශිෂ්‍යයෝ පැමිණේ. ඔවුහු මාස්ටර් ඇහැරවීමට බෙර යොදාගෙන ” කුත්තු” සගීතය වාදනයෙන් දරණ උත්සාහය රාම රාවන කතාන්දරයේ කුම්භකර්ණ ඇහැරවීමට දරන උත්සාය ලෙස මා දුටුවෙමි. ජේ.ඩී තුල සිටින ශක්තිමත් ගුරුවරයා නිදා සිටියි. ඔහු තම අපිළිවෙල ජිවිතයෙ මිදී ඔහුගෙන් විය යුතු සැබෑ සේවය සිදු කිරීමට අවදි කරවීම මෙහිදී නිරූපනය වේ යැයි සිතේ.

ඔහුගේ අවදීවීමත් සමග එන ” vaathi coming ” ( ගුරුවරයා පැමිණෙයි) ගීතය සංකේතාත්මකය. සිනමාපටය තිරගතවීමට පෙර සිටම මෙම ගීතය උන්මාදයක් විය. කොලිවුඩ් සිනමාව් තාරුණයේ තරු ලකුණ වන අනිරුද් රවිචන්දර් මෙම චිත්‍රපටයේ දෙවැනි ඉන්ද්‍රජාලිකයාය. කනගරාජ් අධ්‍යක්ෂ වරයාගේ සිතුවම ගෙත්තම් කෙරෙන්නේ අනිරුද් සංගීතඥයා ගේ පසුබිමි සංගීතය නම් කැන්වසයේයි. ජේ.ඩී ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයන් ඔහුගේ සංගීතයෙන් වර්ණවත් වේ.

“මාස්ටර්” හී විශේෂත්වය නම් ” මාස්ටර් ” පරිපූර්ණ චරිතයක් නොවීමය. ” ඔයාට ඔයා ගැන තියෙන පාලනය නැතිවේගන යනවා ජේ.ඩී”. විද්‍යාල මැතිවරණයේදි ඇතිවූ ප්‍රශ්නයෙන් අනතුරුව ව්ද්‍යාලයේ ආදී කතෘ ඔහුට අවවාද කරයි. කතාන්දරය තුල ඇති සමාජයට පමණක් නොව ඔහුටම ගුරුවරයෙක් අවශ්‍යව ඇත. චිත්‍රපටයේ එක්තරා අවස්තාවකදී විස්තර කෙරෙන අන්දමට දෙමව්පියන් නොමැති ජේ.ඩී හට මග පෙන්වූ ගුරුවරයෙක් සිට ඇත. ඔහු අසනීප තත්වයක ගොදුරුව මියගොස් ඇති නිසාවෙන් අපගේ කතා නායකයා මෙසේ විසිරුනු පුද්ගලයෙක් බවට හැරී ඇත. වී.සී සෙල්වම් නම් මෙම ගුරු චරිතය ” නම්මවර් ” චිත්‍රපටයේ කමල් හසන් රංගන ශිල්පියා විසින් පණ පෙවූ චරිතයක සඳහන් කිරීමක්‍ ය.

මාස්ටර් හරහා චිත්‍රපටයේ ප්‍රතම අර්ධයේදී පැවසෙන  අදහස් සැබැවින් ගුරුවරයෙක් විසින් සමාජයට සම්ප්‍රේෂණය කල යුතු අදහස් යැයි හැඟේ.  “අපට ඇසෙනවා (hearing), නමුත් අපි සවන් දෙන්නේ නෑ ( listening). ගුරුවරු ශිෂ්‍යන්ට සවන් දෙන්නේ නෑ, ශිෂ්‍යයෝ ගුරුවරුන්ට සවන් දෙන්නේ නෑ, දරුවෝ දෙමව් පියන්ට සවන් දෙන්නේ නැහැ, දෙමව්පියෝ දරුවන්ට සවන් දෙන්නෙ නැහැ, අන්තිමට රජය රටේ ජනතාවට සවන් දෙන්නේ නැහැ”.එම අදහස කෙතරම් ප්‍රභලද යත් මෙම දර්ශනය පමණක් පෙන්වන ඇතැම් යූ ටියුබ් වීඩියෝ හී ” රජය” යන්න නිහඬ කර ඇත

“දේශපාලනය කියන්නේ සේවයක් කියන එක මුලින්ම ශිෂ්‍යන්ට තේරෙන්න ඕනේ. විද්‍යාලය ඇතුලෙ තියෙන මේ වගේ ඡන්දයකින් ශිෂ්‍යයෝ මැතිවරණයක්, ඊට ඉදිරිපත් වීම, නායකත්වය කියන දේවල් ඉගනගන්නවා. ඒවායෙන් එයාලා පිටතට තියෙන දේශපාලන මැතිවරණගැන ඉගෙන ගන්නවා. තමන්ගේ මුල්ම ඡන්දය පාවිච්චි කරන්නේ කොහොමද හොඳ නායකයෙක් වෙන්නෙ කොහොමද, හොඳ නායකයෙක් තෝරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා” ශිෂ්‍ය දේශපාලනය පාරට බැස උද්ඝෝෂණ කිරීමට පමණක් සීමා වූ යුගයක මෙම අදහස සිසුන් වෙත යෑම අත්‍යවශ්‍ය යැයි සිතමි. අරගල කිරීම ද රජය ඔවුන්ගේ අදහස් වලට ඇහුම්කන් දීමද අත්‍යවශ්‍යය. නමුත් ඔවුහු ශිෂ්‍යන් ලෙස නොව ශිෂ්‍ය දේශපාලනයෙන් ලැබෙන පන්නරයෙන් සමාජ දේශපාලනයට එක්විය යුතුය. ශිෂ්‍යයන් ලෙස සිටියදීද උද්ඝොෂන කර සමාජගත වූ පසුත් රැකියාවක ඉල්ලා එලෙසම කිරීමෙන් ඔවුන් ශිෂ්‍ය දේශපාලනයෙන් උගත් යමක් ඇතැයි සිතිය නොහැක.

පුණුරුත්තාපන මධ්‍යස්තානයේ ගුරුවරයා වී පැමිණීමෙන් ජේ.ඩී ගේ දෛවයේ ඇති ඔහු විසින් ඉටු කර යුතු අරමුණ කරා ඔහුව යවනු ලැබේ. ” අමාරුයි නේද මෙහේ ඉන්න එක? මාස තුනක්!” ඔහු තමා සමග සිටින සුරතල් පූසා සමග පවසයි. ගුරුවරයා වී ගියද එය ඔහුගේ චරිතයටද දඬුවමක් ලැබී සිරගත වූවා සේය. ඔහු සිතා සිටින්නේ ඔහුට එහි කිරීමට කිසිවක් නොමැති බවය. ළමුන් ඉගෙනීමට කිසිසේත් උනන්දු නොවේ. ඔහුද ගුරු මේසය මතට වී නින්දට වැටේ.

” මල්ලි, මෙහේ ගොඩක් වැරදි දේවල් වෙනවා. මේ ළමයි මත්ද්‍රව්‍ය අරගන්නවා.” “මට කියන්නෙ ඇයි. ඒවා පොලිසියට අදාල දේවල්” ” මේ ඉන්නේ ළමයි, ඔයා වගේ ගුරුවරු තමයි එයාලාව හරි මාර්ගෙට ගන්න ඕනේ” . පුනුරුත්ථාපන මධ්‍යස්තානයේ සේවක මහත්මයෙක් ජේ.ඩී හා පවසයි. ඔහුට එය සිතීමට හෝ ඉඩක් නොලැබෙන අතර පසු දිනම දරුවන් දෙදෙනෙකු බවානි විසින් ඝාතනය කර මධ්‍යස්තානයේම එල්ලා තැබේ. එය සැබැවින්ම ඔහුගේ අත්වැරැදීමකින් වූවක් බව ජේ.ඩී පසුව වටහාගන්නේ එම දරුවන් දෙදෙනා තමන් බේරාගන්නා ලෙස ලියු ලියමනක් ඔහුගේ සාක්කූවේ තිබී හමුවීමෙනි.

චාරුලතා, මාස්ටර් ගේ පෙමවතිය, සැබැවින්ම ඇය එසේ හැඳින්වීමටද නොහැකිය. චිත්‍රපටය තුල වීරයාගේ ප්‍රේමය ඉතා ස්වල්ප වශයෙන් පෙන්වූ විරල අවස්තාවක් ලෙස මාස්ටර් හැඳින්විය හැකිය. ඇයගේ චරිතයට සහ ප්‍රේමයට එතරම් ඉඩක් සිනමාපටයේ නොමැති බව බොහෝ විචාරකයින්ගේ මතයයි. නමුත් තරුණියක බේරාගැනීම මාස්ටර්ගේ අරමුණ නොවේ. විජෙයි වැනි ප්‍රේමණීය ප්‍රතිරූපයක් ඇති අයෙක් ඉතා සියුම් ලෙස වෙනත් අරමුණක් කරා හැසිරවීම අධ්‍යක්ශකතුමන් විසින් මානාව සිදු කර ඇත. කෙසේවෙතත් ඉතා කුඩා දර්ශන ප්‍රමානයක සිටින ජේ.ඩී ඉගැන්වීම් කල විදුහලට නවක ආචාර්‍යවරියක් ලෙස පැමිණෙන චාරු ඔහුගේ චරිතය ගොඩනැගීමේ කොඳු නාරටිය වේ. ඔහුගේ අත්සනින් ඔහු මෙම මධ්‍යස්තානයට යවන්නේ ඇය විසිනි. ඒ පෙර සඳහන් කර දරුවන් දෙදෙනා බේරාගැනීමටත් ඇය සමාජ සේවිකාවක ලෙස ඉන් පෙර බොහෝ උත්සහ කලද මෙම මධ්‍යස්තානයේ සිදුවන අපරාධ වැලැක්වීමට නොහැකි වූ නිසා ඊට ඇය විසින් සොයාගත් පිලියම ජේ.ඩී නිසාත්‍ ය. දරුවන්ගේ මරණයෙන් දැනගැනීමෙන් පොලිස්තානයට පැමිණෙන ඇය හඬා වැටෙන මවත් කිසිවක් සිතාගැනීමට නොහැකිව සිටින ජේ.ඩී ත් දකියි. ඔහු හට සිදු කල යුතුව තිබු දෙය බැණ වදිමින් පවසන්නේ ඇයයි.”මේ දරුවෝ දෙන්නාගේ මරණයේ ඔයත් එක පංගුකාරයෙක්.” ඔහුගේ සැබෑ හැරවුම් ලක්ෂය වන්නේ ඇගේ බැන වැදීමයි.

චිත්‍රපටයේ ඇති එකම ප්‍රේම ගීතය ඇය වෙනුවෙන් ලියවුනාවක් නොවේ. විජෙයි සහ මාස්ටර් වෙනුවෙන් ලියුවකි. මින් පෙර සඳන් කල ලෙස, දමිළ චිත්‍රපටයක් කතාන්දරයක් දිගහැරීමක් මෙන්ම එහි ප්‍රධාන රංගන ශිල්පියා සැමරීමක් ද වේ. මෙම ගීතය සුවිශේෂී වන්නේ එහි තරුණියක නොව තරුණයෙකු පිළිබඳ වර්ණනා කිරීමක් නිසාවෙනි. ජේ.ඩී වෙනුවෙන් ඇති චාරු ගේ සිතුවිලි ඉන් පෙන්වයි. එය යුවාන් ශංකර් නම් ප්‍රේමණීය හඬක් ඇති ගායකයා විසින් ගායනා කරනු ලැබේ.

” ඒ ඇස් දකින විට ආදරයේ ඇති නොවන්නේද” ඔහුගේ සිනහව, මලක් වගේ වූ හදවත, තවමත් තාරුණයේ පසුවන පෙනුම, අසමත් වූ හදවතක් වුවත් සමත් කරවිය හැකි වීම යන ගී පද ඉතා සොඳුරුය. ශක්තිමත් බව නිර්භීත බව, ආරක්ශා කල හැකි බව වැනි පුරුෂ වර්ණනාවන්වල ඇති පොදු ලක්ශන මෙහි නැත. තරුණයා තරුණිය දකින සුන්දර ආකාරයටම තරුණියද තරුණයා දකියි.

” පව් අපේ ගැහැණු ළමයි” ජේ.ඩී වෙනුවෙන් ඇගේ සිතුවිලි සේම විජෙයි වෙත ඔහුගේ කෝටි ගණනක රසිකයන් තුල ඇති ප්‍රේමයද ඉන් පෙන්වන බව මාස්ටර් සම්බන්ධයෙන් මිතුරියක හා කල සාකච්ඡා වකදී ඇය පෙන්වා දුන්නාය.

කොලිවුඩ් සිනමාවේ ඇති “Continuation” නැතහොත් අඛණ්ඩතාවය මෙම චිත්‍රපටය පුරාවට ඇත. එනම් මින් පෙර තිරගතවූ චිත්‍රපටවල ඇතැම් සිදුවීම් නැවත් නිරූපණය කිරීමය. ඉන් එක් අවස්තාවක් මෙම ගීතය තුල ඇත. තවත් ලියාතැබිය යුතු විශිෂ්ඨ චිත්‍රපටයක් වන ” කත්ති” හී විජෙයි මහලු නිවාසයේ වැඩිහිටියන් සමග කැරම් සෙල්ලම් කරන අවස්තාවක එහි ඔහු බලාපොරොත්තු තබා සිටින තරුණිය දෙස ඔහු ඉතා ආදරණීය ලෙස බලා සිටීම, මාස්ටර් හී ළමුන් සමග කැරම් ක්‍රීඩාවෙ යෙදෙන විජෙයි දෙස තරුණියගේ කෝණයෙන් බලා සිටීම ලෙස නිරූපණය කරයි.

බීර වීදුරුවට ඇබ්බැහි වීම තමන්ගේ වරද බව තෙරුම් ගන්නා ජේ.ඩී එය අත් හැරීමට තීරණය කරයි. ඉන් පසු ඔහු පුනුරුත්ථාපන මධ්‍යස්තානයට පිවිසින්නේ වෙනස්ම පුද්ගලයෙක් ලෙසය. එහිදී ළමුන් ඔහුට අවනත වීම ප්‍රතික්ෂේප කරති. ” ළමයින්ගේ ඇඟට අත තියන්න බැහැ. නීති තියෙනවා” එහි සිටින බවානී හට සහය දක්වන සේවකයෝ ප්‍රකාශ කරයි. ඔවුන් සිටියදීම පංතිකාමරය වසාදමන ජේ. ඩී ළමුන් හට නොව සේවකයින් හට පහර දෙයි. එහි සිටින ආගමික මාල පැළඳගත් අයෙකි. ” සර් ගහන්න එපා! මේ මාලේ තියෙනවා, දෙවියො සර් ඉන්නේ!” . ඉන් ජේ.ඩී කෝපයට පත්වේ ” ඉස්කොලේ ඇතුලට ගංජා ගේනකොට කොහෙද හිටියේ දෙවියෝ?”. ඒ තමන්ගේ රාජකාරිය පැහැරහරින සේවකයින් හට ඔහුගේ ප්‍රතිපහාරයයි. මෙය දකින දරුවෝ සියල්ල ගුරුවරයා අණ දුන් අන්දමට වහා පෝලිම් ගැසෙති. මේ අතර සිටින විශේෂ රැඳවියෙකි. අපි තව මොහොතකින් ඔහු කවුරුන්දැයි සොයා බලමු.

Vaathi coming ( ගුරුවරයා පැමිණෙයි) ගීතයෙන් විශ්වවිද්‍යාල දර්ශනයට පිවිසි අපගේ ගුරුවරයා මෙම සිර කඳවුර දර්ශනයට ” Vaathi Raid” ( ගුරුවරයාගේ වැටලීම) ගීතයෙන් පිවිසෙයි. ” අයන්න ආයන්න, මේ අපේ කාලයයි, එන්න සහෝදරයා, ආයුබෝවන් සහෝදරයා, ගුරුවරයාගේ වැටලීමයි මේ”.එහි රූපරාමු ද පොලිසිය විසින් සිදු කරන වැටලීමකට සමානය. ඔහු විසින් මධ්‍යස්තානය විශාල පිරිසිදු කිරීමකට ලක් කෙරෙයි. සේවකයන් හා එක්ව සෑම තැකම සඟවා ඇති මත්ද්‍රව්‍ය, මත් පැන්, දුම්වැටි, ජංගම දුරකතන සියල්ල සොයා විනාශ කරනු ලැබෙයි. අපිළිවෙල ලෙස ජීවත්වන ළමුන් අල්ලා හිසකේ රැවුල් කපා පිරිසිදු කරන අතර වෛද්‍යවරියක වන මිතුරියක ගෙන්වා සායනයක්ද සිදු කෙරෙයි. විශ්වවිඳ්‍යාලයේ සිසු සිසුවියෝ පැමිණ කඳවුර පිලිසකර කරති. මෙහිදි පෙන්වන සුන්දර සිදුවීමකි. ඒ නම් කතාන්දරයේ මුලදී අහංකාර ශිෂ්‍යක්ව සියි භාරගව් යහපත් අයෙක් වී ඇති බවත් ඔහු හා සවීතා අතර යන්තමින් ඇතිව එන ප්‍රේමයක් පෙන්වීමත් ය.

දාස්, බවානි විසින් කඳවුර තුල ළමුන් පාලනයට තබා ඇති වයස එතරම් නොපෙනෙන රැඳවියා ය. ඔහු හා වයස දහ අටට වඩා වැඩි ළමුන් කිහිප දෙනෙකි. කොලිවුඩ් සිනමාවේ කඩවසම් නවකයෙක් වන අර්ජුන් දාස් මෙහි එම චරිතය සඳහා පණ පොවයි. කනගරාජ් අධ්‍යක්ෂ වරයාගේම ” කයිදි” ( සිරකරුවා) චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය කල ඔහු කොලිවුඩ් සිනමාවේ අනාගතය පිළබඳ බලපොරොත්තු තැබිය හැකි අයෙකි. සිනමාපටයේද අයහපත් පුද්ගලයෙක් ඇසුරේ සිට වරදට යොමුව නිවැරදි ගුරුවරයෙක් හමුවීමෙන් වෙනස් වන බලාපොරොත්තුව තබා ඇත්තේ ඔහු මතය. සිනමාපටය පුරාවටම ගොඩනැගෙන එකම චරිතය ඔහුය. බවානි ළමයෙක් ලෙස ළමා සිරකඳවුරට පැමිණෙන විට ඔහුට වඩා කුඩා දරුවෙකුව එහි සිටින දාස් බවානි හා එක්වේ. ඔහුගේ පෙනුම නිසාවෙන් ඔහු ළමා රැඳවියෙකු සහ බවානීගේ නියෝජිතයා ලෙස කඳවුර තුල රැඳී සිටියි. ළමුන් කිසිවෙක් බවානි හදුනන්නේ නැත. සියල්ලොම හඳුනන්නේ දාස් ය. ඔහුට නොදැනීම බවානි විසින් සියලු අපරාධ ඔහුවෙත හරවා තැබේ.

දාස් කිසිවිටකත් ජේ.ඩී පිලිගැනීමට සූදානම් වූයේ නැත. කඳවුර තුල කෝලාහල ඇතිකරන්නේද ඔහුය. ඔහු හා පිරිස එක්ව ගුරුවරයාට සාක්ෂි දුන් කුඩා පිරිමි ළමයාගේ අතක් කඩා දමයි. ඔහු එක්වන කබඩි දර්ශනය මාස්ටර් හී ඉතා ආකර්ෂණීය දර්ශනය කි. මෙය මා මින් පෙර සඳහන් කල continuation සංසිද්ධිය පෙන්වන ප්‍රධානතම අවස්තාවය. මාස්ටර් හා නිතර ගැවසෙන කුඩා දරුවෙකි. දාස් විසින් අතක් කඩා දැමෙන්නේ ඔහුගේ මිතුරාගේය. කබඩි තර්ඟයක් සූදානම් කර එක් පසෙක දාස් සහ පිරිසත් අනෙක් පස කුඩා දරුවන් පිරිසත් සිටින අතර අසනීප වූ දරුවාගේ ස්තානය මාස්ටර් ගනියි.

” ගුරා, මේ සෙල්ලමේ නමවත් දන්නවාද? මේක ක්‍රිකට්වත් ෆුට්බෝල් වත් නෙවෙයි. ආ වරෙන්!”

මෙය තරමක් උත්ප්‍රාසය දනවන වදනකි. 2004 වසරේ තිරගත වූ ” ගිල්ලී ” චිත්‍රපටයේ විජෙයි කබඩි ක්‍රීඩකයෙක් ගේ චරිතයක් නිරූපණය කරයි. එවකට දාස් ගේ වයසේ පමණ චරිතයක වන විජෙයි ගේ චරිතය කබඩී ක්‍රීඩාවේ දක්ෂයෙකි. වසර ගණනාවකට පෙර සිටි වීරයා යලි කබඩි පිටියට පිවිසේ. එම දර්ශනයේ පසුබිම් සංගීතය සඳහා ගිල්ලී චිත්‍රපටයේ පසුබිම් සංගීතයම අනිරුද් විසින් නව්‍යකරණය කොට යොදා ගැනීම විශේෂත්වයකි.

කබඩි තරඟයට සහභාගි වන මාස්ටර්ගේ කුඩා මිත්‍රයා උන්ඩියල් ද වැදගත් චරිතයකි. පූවෙයියාර් ළමා ශිල්පියා ඊට පණ පොවයි. උන්ඩියාල් හරාහා ජේ.ඩී බවානිගේ රහස් කිහිපයක් සොයා ගනී. බවානි විසින් අපරාධ සඳහා යොදාගන්නා ළමුන්ගේ අතේ පච්චක් කොටා ඇත. සිර කඳවුරේ නොමැති අනෙක් ළමුන් එම පච්චය පෙන්වා කඩවල් වලින් ආහාර , මත්ද්‍රව්‍ය නොමිලේ ලබා ගනී. ජේ.ඩී එම ස්තාන සොයා විනාශ කර දමයි. උන්ඩියල්ගෙන් ලැබෙන ඔත්තුවකට අනුව ජේ. ඩී. බවානීගේ තිප්පොල සොයා ගනියි. ඔහු විසින් අල්ලගනු ලබන්නේ බවානීම වුවත් දෙදෙනාට දෙදෙනා හඳුනාගානීමක් හෝ මුහුණ දැකීමක් සිදු නොවේ. බවානීගේ ගෙලට පෑනක තබාපසුපස සිට ඔහු තර්ජනය කරයි. පෑනක හැරුනුකොට ගුරුවරයා සතුව වෙනත් ආයුධයක තිබිය නොහැක. මෙම තර්ජනය ජේ.ඩී අතින් සිදුවන දෙවැනි වරද වේ. බවානි විසින් ජේ.ඩී ගේ සමීපතම මිතුරන් සහ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් මරා දැමීම ආරම්භ කරයි.

පැය තුනකට ආසන්න කාලයක් දිව යන මාස්ටර් කතාව මීට කෙටි වන්නට තිබුනා යන්න විචාරකයන්ගේ මතයයි. සාමන්‍යෙන් වීරයාගේ නැගිසිටීමට ඔහුට එක් දරුණු ඛේදවාචකයකයට මුහුණ දීමට සිදුවේ. මෙහි එවන් අවස්තා දෙකක් තිබීම තරමක් කතාන්දරය අනවශ්‍ය ලෙස දිගු කිරීමක් ලෙස පෙනේ. කෙසේ හෝ දෙමව්පියන් සහෝදර සහෝදරයක් නොමැති නිසා තමන්හට නැතිවීමට යමක් නොමැති නිසා සටනට භිය නොවන මාස්ටර්ගේ ධෛර්යය ට දෙවැනි ඛේදවාචකයකයෙන් අභියෝගයක් එල්ල වේ. ඔහු වටා සිටි සියලුම දෙනා බවානීගේ ගොදුරක වීම ඇරඹේ. භාර්ගව් සහ ජේ.ඩී ගේ සමීපතම මිතුරියක වන වානතී ආචර්‍යවරියගේ සැමියා දරුණු වාහන අන්තුරු සිදුකර මරා දැමෙන අතර තමන් වෙත හරවාගෙන සිටි කඳවුරේ දරුවන් පිරිස දාස් විසින් කන්ටේනරයක පටවාගෙන බවානී වෙත රැගෙන යනු ලැබේ.

වානතී චරිතය කතාවේ මුල් අර්ධයේ අපට හමුවේ. කනගරාජ් විසින් කතා නායකයාගේ ගොඩ නැගීම සඳහා කාන්තා චරිත ඉතා සුහුරු අයුරින් යොදාගෙන ඇත. මැතිවරණයට ඉදිරිපත් කෙරෙන සිසුවිය නිසාවෙන් ඔහුට දෙවරක් රැකියාව අහිමි වේ. ඉන් ඔහු වෙනත් මාර්ගයකට පිවිසේ. චාරු නිසාවෙන් ඔහුට සටන් කිරීමට අරමුණක ලැබේ. මියගිය දරුවන්ගේ මව නිසාවෙන් ඔහු තුල ඇතිවිය යුතු සංවෙදී හැඟීම ඇති වේ. වානතී දුනු ශිල්පය උගන්වන ගුරුවරියකි.

” ජේ.ඩී ඔයා තව කොච්චර කාලයක් ඔහොම බිබී ඉන්නවද. සිහි කල්පනාවෙන් නෙවෙයි ඔයා ඉන්නේ. ” ” නෑ මම හොඳින් තමා ඉන්නේ” ” එහෙනම් ඇවිත් මේ දුන්නෙන් හරි ඉලක්කයට විදින්න.” ඇය ඔහුට අභියෝගයක ලබා දේ. නමුත් ජේ.ඩී හොඳින් මානා විදින ඊතලය ඉලක්කයේ නොව වහලයේ නවතී. කතාවේ අවසන් භාගයේදී ඇයට සිදුවන ඛේදවාචකයකයත් සමග ජේ.ඩී සමග සටන් බිමට ඇයද පිවිසේ. දාස් යන මග අහුරන්නට ඔහු රැගෙන එන ආයුධය ඇයයි. කනගරාජ් විසින් අම්මා, අක්කා, නංගී, පෙම්වතිය යන දමිළ සිනමාවේ නිරන්තරයෙන් ආරක්ෂා කල යුතු යැයි පෙන්වා දෙන කාන්තා චරිත සාමන්‍ය මිනිසෙකු වීරයෙක් දක්වා වන පරිවර්තනයේ ශක්තිමත් කොටස්කරුවන් කර ඇතැයි සිතමි.

මෙම සටන රාත්‍රියේ වාහන ගමන් ගනිමින් සිටියදී කෙරෙන සටනකි. එහිදී වානති ඇදවැටීම නිසාවෙන් ජේ.ඩී දුන්න අතට ගනී. මුලදී හරි හැටි ඉලක්කයක් ගැනීමට නොහැකිව සිටි ඔහු මෙහිදී සාර්තක ලෙස පහර එල්ල කරයි. ඔහු මුවහත් වෙමින් පවතී. අරමුණ පැහැදිලි වෙමින් පවතී.

බවානී සහ ජේ.ඩී අතර හමුවීම කතාන්දරයේ උච්චතම සහ ප්‍රෙක්ෂකයන් මග බලා සිටි අවස්තාවය. මා මග බලා සිටි මොහොතය. මෙය සිදුවන්නේ බවානිගේ මස් ගබඩාගාරයේය. කන්ටේනරයේ රැගෙන යන දරුවන් ද සමග ජේ.ඩී එහි පිවිසේ. බවානී හා මුහුණට මුහුණ සටනට පැමිණීමට තරම් ශක්තිමත් ගුරුවරයෙක් දැන් සෑදී ඇත. බවානිට ළමා කාලයේ හමු නොවූ ගුරුවරයා ඔහු ඉදිරියට පැමිණ ඇත.

මෙහිදී ඇතිවන සටන මා නරඹා ඇති හොඳම සටන් කිහිපයේ පළමු තැන තැබිය හැකිය. සත්‍යනම් මා ලයිස්තුගත කර ඇති සටන් සියල්ල එකම සටන් ගුරුවරයෙකු විසින් නිර්මාණය කල නිර්මාණ වීමය. මාස්ටර් සිල්වා නම් අති දක්ශ සටන් පුහුණු ආචාර්‍යවරයා සේදුපති සහ විජෙයි ගෙන් නිරූපණය කල හැකි උපරිමය ගෙන ඉතා සූක්ෂමව මෙම සටන නිර්මාණය කර ඇතැයි සිතමි. මෙය මස් කඩ කරුවෙක් සහ ගුරුවරයෙක් අතර සටනකි. ඒ අතර බවානී විසින් දාස් මරාදමන ලෙස නියෝග කිරීම නිසාවෙන් ඔහුත් අනෙක් සගයන් අතරද සටන අනෙක් පසින් සිදු වේ.

බවානි ළමා බන්ධනාගාරයේ සිටියදී විදි වදහින්සා නිසාවෙන් ආවේගය පිටකර ගැනීමට නිරන්තරයෙන් සිරමැදිරියේ බිතතියට පහර දෙයි. ඉන් ශක්තිමත් වූ ඔහුගේ හස්තයේ මුදුවක් දමා ඇත. ඉන් ඉක් පහරක් වැදීමෙන් ප්‍රතිවාදියා මිය යා හැක. එම පහරවලින් බේරී සටන් වදින ජේ.ඩී ට එක් අවස්තාවකදී ඔහුගෙන් බේරී යාමට නොහැකි වේ. බවානීගේ පහරින් ජෙ.ඩී විසී වී යයි. ඉන් කොපයට පත්වන ළමුන් වහා අතට හසුවන ඕනැම ආයුධයක් අතට ගනී.

” එපා. අතාරින ඕවා. කවුරුත් ආයේ පිහියක් අතට ගන්න එපා. ඔයාලා වෙනුවෙන් තමයි මම සටන් කරන්නේ. පස්සට යන්න . ඕවා අතාරින්න” ජේ.ඩී තමන්ගෙන් සිදුවිය යුතු වගකීම, ගුරුවරය විසින් දරුවන්ට දිය යුතු වටිනාම උපදෙස තමන් ලේ වගුරවමින් සිටියද ළමුන් හට ලබා දෙයි.

ජේ.ඩී සහ බවානි අතර සැබෑ සටනත් , විජෙයි සහ සේදුපතිත් අතර අප බලාපොරොත්තු වන ඝට්ටනයත් තිරයේ දිගහැරෙයි. යලි නැගී සිටින මාස්ටර් තමන්ට සිදුවූ තුවාලයේ වේදනාව අඩුවීමට කමිසය ගලවා එය ඉන වටා ගැටගසා ගනියි. බවානී පහර එල්ල කරන ක්ෂණයෙන් ඔහුද පහර දේ. දෙදෙනාගේ මෙලවූ මිට සහිත අත් ඝට්ටනය වේ. මින් පෙර සඳහන් කල ලෙස බවානි සතුව ශක්තිමත් හස්තයක් සහ මුදුවක් ඇත. නමුත් මෙම පහරේදී බවානි වේදනාවට පත්වේ. ඒ ජේ.ඩී සතුව ඇත රීදී වලල්ල ඔහු තම අතමිටට ගෙන පහර දුන් නිසවෙනි. මෙම වලල්ල විශ්නු දෙවියන්ගේ සතුව ඇති ” සුදර්ශන් චක්‍රය” ලෙස මම දකිමි. එම චක්‍රය නිරන්තරයෙන් කැරකේ. ඒ නපුර විනාශ කර දැමීමටය. අපගේ කතානායකයාගේ චක්‍රයෙන් ඔහු පහර දේ. ඔහු සතුවද එය නිරන්තරයෙන් තිබුණි නමුත් ඔහු පරිපූර්ණ ගුරුවරයෙක් වී ඇත්තේ මේ මොහොත සඳහාය, මින් ඉදිරිය සඳහාය. ” මම ළමයි අතඅරින්නම්, මට උවමනා ඉස්සරහට දේශපාලනය ට සම්බන්ධ වෙන්න” ජේ.ඩී මොහොතකට බවානීගේ වදනට සවන් දෙයි. ඊලඟ නිමේශයේ ඔහු බවානි ඔසවා මස් කොකුවක එල්ලන අතර එය බවානිගේ ගෙල පසාරු කරගෙන යයි.

මාස්ටර් විසින් අතහරින එකම චරිතය දාස් ය. ඔහු අවසානයේ මාස්ටර් වෙත පැමිණ තමන් ජේ.ඩීගේ වරද භාරගෙන සිරගත වීමට සූදානම් යයි පවසයි. ” තමන් කරන දේවල් වල ප්‍රතිවීපාක තමන්ම අත්විඳින්න ඕනේ” බවානි විසින් කරගෙන ආ වරද මුලිනුපුටාදැමීම ජොන් පෝල් සාත්‍ර වැකියක් සමගින් ඔහු සිදුකරයි. දාස් එහිදි කරන වරදකි ඒ ජේ.ඩී ගෙන් පෙම්වතිය ගැන විමසීමය.

” ඒ කාලයේ මගේ නම ජැක් ඩැනියල්. තරඟයකින් දිනලා ටිකට් එකක් ලැබුනා. හැමෝම බස් වල යනවා.කොච්චිවල යනවා ඒ වුනාට මම නැවක ගියා. එහෙදි මුණගැහුණා ගෑණු ළමයෙක් එයාගෙ නම රෝස්. ඒ වුනාට එතකොටත් එයා ගිවිසගෙන හිටියෙ. ඉතින් නැව ඔහේ මෙහෙම යනවා…”

ඔහු වාක්‍ය අවසන් කිරීමට පෙර දාස් ඊට බාදා කරයි.

“එහෙම ගිහින් ගිහින් අයිස් කන්දක හැප්පෙනවා නේද මාස්ටර්””කොහොමද දන්නේ?” ” කමක් නැහැ මාස්ටර් මම එලියෙන් ඉන්නම්” දාස් ඔහුගේ ටයිටැනික් කතාව අතරමැද එතැනින් ඉවත්ව යයි.ජේ.ඩී ගේ නම මුල් වරට අපට හමුවන්නේ එහිදීය නමුත් ඔහු පවසන්නේ විස්කි බෝතලයක නමකි. බවානි වුවද ” වාති” ( ගුරුවරයා) ලෙස අමතන ඔහු කවුරුන්දැයි අප නොදනී.

ඔහුගෙන් විය යුත්ත සිදු වී හමාරය. පුනුරුත්ථාපන මධ්‍යස්තානයේ ළමුන් වෙනත් ළමා බන්ධනාගාරයකට මාරු කර යැවෙන අතර වයසින් වැඩි දාස් සහ පිරිස බන්ධනාගාරයක් වෙත යවනු ලැබේ. දාස් මිතුරන් හා බන්ධනාගාරයට ඇතුලු වේ. එහිදී අපට පසුපසට පෙන්වන සිරකරුවෙකු විසින් ඔහුට හිරිහැර සිදු කිරීමට සැරසේ. ඔහු බීඩි දුම්වැටියක් උරමින් සිටියි. මෙහිදී අපගේ විශ්වාසය මොහොතකට බිඳ වැටේ. තවත් බවානි කෙනෙක් බිහි වීමට යන බවක් හැඟේ.

දාස් සහ පිරිස හැරුනු විට තවත් සිරකරුවෙක් තම බඩු බාර දෙන මොහොතක් පෙන්වයි. බන්ධනාගාර නාම ලැයිස්තුවේ ලියා ඇති ඔහුගේ නම ” ජෝන් දුරෙයිරාජ්”. බීඩිය සමග සිටින සිරකරුවාගෙන් හිරිහැර විදිමින් සිටි දාස් තරමක් හිස පහත්කොටගෙන සිට හිස ඔසවයි.

” බීඩිය හොඳට බොනවා. මොකද ඕක උඹ බොන අන්තිම බීඩිය” ” මොකද ලොකුසීන් දෙන්නේ, අපි දැකලා නැති හිරකාරයෝද ( කයිදි)” ” ලොකු හිරකාරයෙක් ( කයිදි) දැකලා ඇති ඒත් දැන් දකින්න යන්නේ මාස්ටර්”

ජේ.ඩී සිරමැදිරියට පිවිසෙන අතර බීඩිය උරමින් සිටි සිරකරුවා දාස් ගේ හිස මෑත් කර ජේ.ඩී දෙස බලයි. එම සිරකරුවා අන් කිසිවෙක් නොව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෝකෙශ් කනගරාජ් ය. ඔහුගේ චිත්‍රපටය පුරාවට ඔහු විසින් සිතුවම් කරමින් සිටි ” ජේ.ඩී” ඔහු ඉදිරියටම “මාස්ටර්” වී පැමිණේ.

ගුරුවරයා වීරයා ව ඇතත් ඔහුට ලැබිය යුතු නිසි දඬුවම විඳීමට ඔහු පැමිණ ඇත. ගුරුවරායා අහිමිව සිටි ජේ.ඩී. හට අත්දැකීම් ගුරුවරයෙකු වී ඇත. මා කල්පනා කරමින් සිටින්නේ මාස්ටර් නම් අපූරු සිහිනයෙන් සැබෑවටම පිටතට පැමිණියේද යන්නය.🤔 ආවර්ජනය කරමින් ලිවීමේ දි මා යලි පය ලිස්සා ගොස් පැණි හැලියටම වැටී ඇතැයි හැඟේ. දමිළ සිනමාව රසවින්දනය වෙනමම රසවින්දනයකි. එය බහුශ්‍රැත පුදගලයින් නොවැටහෙන, සාමාන්‍ය මිනිසා වෙනුවෙන් නිර්මාණය වූවක් යැයි සිතේ. මම සාමන්‍ය අයෙක්මි, ගුරුවරයෙක් වෙමි. වීරයෙක් වීමට සටන් බිමක් කවදා හෝ හමුවෙනු වනු ඇත. අපිළිවෙල ජේ.ඩී තුල මම මා දකිමි. ආදරණීය ජෝන් දුරෙයිරාජ් අතට මා හැරවෙන දිනයක් පැමිණේ යැයි විශ්වාස කරමි.

-සුමුදු-

Leave a comment